නාගරික තදබදයට විසදුමක් ජනාධිපති දෙයි..

January 25, 2020 at 8:40 am | lanka C news
නාගරික තදබදයට විසදුමක් ජනාධිපති දෙයි..

සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව එතුමා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්  (24) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

“2005-2014 කාලය තුළ අපේ රට ආර්ථික වර්ධනය අතින් ආසියාවේ මුල් තැනක තිබුණා. ගත වූ වසර කිහිපයේ දී ආර්ථික වර්ධනය පහළ ගියා. ආර්ථික පුනරුදයක් ඇති කිරීම අද අප හමුවේ ඇති විශාලම අභියෝගයක්” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ආර්ථිකය යළි ගොඩනැගීමේ දී නව තාක්ෂණය උපයෝගි කොට ගත යුතුය. පුහුණු ශ්‍රමය තවත් වැදගත් සාධකයකි. ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමයේ ද අවශ්‍ය වෙනස්කම් කළ යුතුය. එහිලා තෘතීයික අධ්‍යාපනයට තරුණ තරුණියන් වැඩි වැඩියෙන් යොමු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද ජනාධිපතිතුමා පැවසීය.

“ජනතාවට සේවය කළ හැකි සහ ආර්ථික වර්ධනයට වැඩිපුර දායක විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන දියුණු කළයුතුය. සංචාරක මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට එහිදී ප්‍රමුඛ වගකීමක් පැවරේ. පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක විය යුතුය”. ජනාධිපතිතුමා කියා සිටියේය.

කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයන් යොමු කිරීම නාගරික තදබදයට විසදුමක් ලෙස පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා ඔවුනට නව තාක්ෂණය සහ දියුණු යටිතල පහසුකම් සපයා දිය යුතු බව සඳහන් කළේය.  මේ ව්‍යායාමයේ දී උද්ගත වන සියලු ගැටලු වලට විසඳුම් දීමට තමා සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව තම කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලිමක් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න

41,965 Viewers

6 Comments to “නාගරික තදබදයට විසදුමක් ජනාධිපති දෙයි..”

  1. Crazy says:

    Great initiative. Government should explore following options as well:

    – introducing flexible working hours
    – Promote and explore working from home options
    – Online accessibility for most of the government
    – Credit card/ online payment option for government service fee
    – Effective utilisation of courier services
    – Encourage cycling/walking to office
    – More frequent metro train services

  2. Saman says:

    Sir Forces vala ayatath jivithe sathuten gatha karanna avasthava hadala denna eyalagen mita vada vadak ganna puluwan veyi

  3. බන්ඩා says:

    කොළඹ තදබදයට ප්‍රධානම හේතුව ජනප්‍රියතම පාසල් විශාල ප්‍රමානයක් කොළඹ තදාසන්න ප්‍රදේශ වල පිහිටාතිබීමය්. එම පාසල් කොළඹින් පිටට ගෙන ගියොත් ජනතාව කොළඹට ඒම අඩු වේවි.

    • හෙලයා says:

      ඒවගේම කොළඹ ඉස්පිරිතාල දියුනු කිරීම නවතා තදාසන්න ඉස්පිරිතාල දියුනු කල යුතුය්.

    • සිරිසේන says:

      ඇත්ත කතාව. පාසල් නිවාඩු දින වල කොළඹ වාහන තද බදය අඩුය්.

  4. test says:

    දවසින් දවස ඉහල යන ඉන්දන මිල එක්ක බලද්දි අයෝජන කලාප වලට වඩාත් සුදුසු වරායට සහ ගුවන් තොටුපලට කිට්ටු පහසුවෙන්ම එන්න පුලුවන් ප්‍රදේශ නේද?
    කලාපෙ අනිත් රටවල් බොහොම අඩු මුදලට ශ්‍රමය සහ අනිත් යටිතල පහසුකම් සපයල අඩු මුදලට නිශ්පාදන වෙලදපොලට එවද්දි ලන්කාවෙ අපි ඉහල මිලකට ශ්‍රමයයි අදික මිලකට විදුලියයි අරගෙන වැඩි මිලකට නිශ්පාදන වෙලදපොලට එවන්නෙ.. ඒකට ප්‍රවාහන මිලත් වැඩි අගයක් එකතු වුනොත් තත්වෙ තවත් නරක අතට හැරෙන්න පුලුවන් නේද?
    අවාසනාවට අපේ රටේ අයෝජන වලට සුදුසුම නාගරික ප්‍රදේශ පිරිල තියෙන්න පැල්පත් සහ ආර්ථිකයට වැදගත්කමක් නැති ඉදිකිරීම් වලින්.
    ඒ වගේ පැල්පත් සහ අනික් දේවල් ඒ තැන් වලින් ඉවත් කරල ආයෝජන වලට සුදුසු භූමියක් ගොඩනගන්න ඕන… ගෝටාබය වගේ නායකයෙක් ඕන අන්න ඒකට…

Main News