නාවික හමුදාපතිට සේවා දිගු එපා.. විනය පියවර ගත යුතුයි..- මාධ්‍ය සංවිධාන විරෝධයේ..

February 25, 2017 at 3:31 am | lanka C news
නාවික හමුදාපතිට සේවා දිගු එපා.. විනය පියවර ගත යුතුයි..- මාධ්‍ය සංවිධාන විරෝධයේ..

නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතාට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පල කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

නාවික හමුදාපතිගේ සේවා දිගුවට විරෝධය පළ කිරීම

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයා තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රටම කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණිවත රැක්කේය. එපමණක් නොව එම පහරදීමෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවේ නාවික හමුදාපතිවරයා සමග කටයුතු කළ ආකාරය ද මාධ්‍ය සංවිධානවල විවේචනයට බඳුන් විය.

ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් අසැබි වදනින් ඔහුට තර්ජනය කරමින් පහර දුන් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ඇති වගකීමයි. එම වගකීම පැහැර හැරි ජනාධිපතිවරයා ජනමාධ්‍ය සමාජයෙක් එල්ල වූ විරෝධයද නොතකා ඔහුට යළි සේවා දිගුවක් ලබා දීම දැඩි පිළිකුළෙන් හෙළා දකිමු. මෙම පිළිවෙත් කිසි ලෙසකින් යහපාලන මූලධර්මවලට අනුගත වන්නේ නැත.

නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන සංග්‍රහය අනුව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි රජයට බල කර සිටිමු.

– ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

3 views

One Comment to “නාවික හමුදාපතිට සේවා දිගු එපා.. විනය පියවර ගත යුතුයි..- මාධ්‍ය සංවිධාන විරෝධයේ..”

  1. කුමාර says:

    ඇයි සේවා දිගුවක් දෙන්න ඕනද එපාද කියන එක තිරනය කරන්න එක දෙයක් අල්ලගෙන කෑ ගහන්නේ ….. මේ පුද්ගලයා මුලු රටටම කරපු සේවය දන්න අයගේ තීරනය තමයි ඒ….

Main News