නාවික හමුදාපති මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ආණ්ඩුවේ උවමනාව මතයි.. මාධ්‍යවේදීන්ගේ රැහේ ජනාධිපති කෝ..

December 11, 2016 at 12:00 pm | lanka C news
නාවික හමුදාපති මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ආණ්ඩුවේ උවමනාව මතයි.. මාධ්‍යවේදීන්ගේ රැහේ ජනාධිපති කෝ..

නාවික හමුදාපතිවරයා විසින් හම්බන්තො වරාය පරිශ‍්‍රයේදී මාධයවේදියෙකුට කුණුහරුබනෙය්න බැන වැදි පහර දීමේ සිදුවීමට දැඩි විරෝධය පල කරන බවත් ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු බවත් පොදුජන මාධ්‍ය පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි..

හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් පහරදීම සහ රාජකාරියට බාධා කිරීම පොදුජන මාධ්‍ය පෙරමුණ වශයෙන් අප දැඩි ලෙස හෙලා දකින අතර මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

ගෙවුණු දෙවසරක පමණ කාලය තුළ ආණ්ඩුව තමන්ට එරෙහිව කටයුතු කරන මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමන කරන ආකාරයක් පෙනෙන්නට තිබුණු අතර රටේ සහ ආණ්ඩුවේ ප්‍රධානීන් පවා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් මාධ්‍යයට සෘජුව හා වක්‍රව තර්ජනය කරනුත් ඇතැම් මාධ්‍යවේදීන්ට රැකියාව අහිමි වන ආකාරයට කටයුතු කරනුත් දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක් තුළ මාධ්‍යවේදීන් කණ්ඩායමට නාවික හමුදාපතිවරයා විසින් පහර දීම ආණ්ඩුවේ වුවමනාව මත සිදු වූවක් බවට සාධාරණ සැකයක් මතු වේ. එම නිසා ඉතිහාසයේ කිසිදු දිනෙක පළ නොකළ අන්දමේ තුච්ඡ හැසිරීමක් පළ කළ නාවික හමුදාපතිවරයාට මෙන්ම මෙන්ම ඔහුට එම උපදෙස් නිකුත් කළ තැනැත්තකු වේ නම් ඔහුට එරෙහිව ද වහාම පියවර ගන්නැයි අපි ඉල්ලා සිටිමු.

තමා ද කළක් ලේක්හවුස් මාධ්‍යවේදියකු වන බැවින් තමාගේ රැහේ එවුන් රැකීමට තමාට වගකීමක් ඇතැයි මාධ්‍ය ඉදිරියේ කී ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ වහා මෙම සිද්ධියට මැදිහත් වී වැරැදිකරුවන්ට දඬුවම් ලබා දී රැහේ එවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බව වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරන ලෙසයි.

රටේ ඕනෑම තැනක සිය රාජකාරිය නිදහසේ ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් ජනවාරි 08 වැනි දා බලය ලබා ගැනීමේ දී ජනතාව හමුවේ තැබූ පොරොන්දු අනුව මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් අපි රජයට බල කර සිටින අතර ආණ්ඩුවේ මර්දනයට එරෙහිව භේදයකින් තොරව එකතු වන ලෙසත් පොදුජන මාධ්‍ය පෙරමුණ මාධ්‍යවේදීන්ගෙන් සහ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

කුල ශ්‍රී කාරියවසම්
කැඳවුම්කරු
පොදුජන මාධ්‍ය පෙරමුණ

2 views
Main News