නැන්දම්මාට පහර දී මරා දමා බෑණාත් ගෙල වැලලාගනී..

April 25, 2018 at 8:02 am | lanka C news
නැන්දම්මාට පහර දී මරා දමා බෑණාත් ගෙල වැලලාගනී..

ඇල්පිටියේ පිහිටි සිය නිවසේදී (24) සවස නැන්දම්මාට පහර දී නැන්දම්මා ඝාතනය කල බෑණා කෙනෙකු ඊට ස්වල්ප වේලාවකට පසු සිය නිවසේ බාල්කයක එල්ලී සියදිවි නසාගෙන තිබේ. නිර්ණාමික දුරකතන ඇමතුමකින් ලැබුණ තොරතුරු මත ඇල්පිටිය පොලීසිය මෘත දේහයන් සොයාගෙන තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ නො. 24, විජය මාවත, ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි වරාහේන ලියනගේ ලීලාවතී (85) නැමැති කාන්තාවයි. සියදිවි නසාගෙන ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ බෑණා වන එම ලිපිනයේම පදිංචි ජගත් කීර්ති අබේසේකර (45) නැමැති අයයි.

බෑණා විසින් සියදිවි නසා ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති අතර නැන්දම්මාගේ මරණය අත් වැරදීමකින් සිදු වූවක් බව එහි සදහන් කර ඇත. දිගු කාලීනව නැන්දම්මා සමග ආරවුල් තිබූ බවත් සිය පවුලේ සමගියට නිතර නිතර නැන්දම්මා නිසා බාධා එල්ල වූ බවත් එම ලිපියේ සදහන් කර තිබේ. නැන්දම්මාට එම අවස්ථාවේ ඇති වූ කෝපය නිසා පහර දුන් බවත් ඝාතනය කිරීමේ චේතනාවකින් පහර නොදුන් බවත් ඝාතනය සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙසත් එම ලිපියෙන් සියදිවි නසාගත් අය ඉල්ලා තිබූ බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

දෙදෙනාගේම මෘත දේහයන් අද (24) සවස් වන විටත් නො. 24, විජය මාවත, ඇල්පිටිය, ඔවුන් පදිංචිව සිටි නිවසේ සිද්ධිය වූ ස්ථානයන්හි තිබූ අතර ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් අද (24) සවසම මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. එයින් පසු මෘතදේහයන් වෛද්‍ය පරීක්ෂණය සදහා ඇල්පිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට නියමිත බව ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සමග සියදිවි නසාගත් අය විවාහ වී සිටී. නැන්දම්මා හා බෑණා අතර කලක පටන් ආරවුල් ඇති වී තිබෙන බවද ඇල්පිටිය පොලීසිය කියයි. ඝාතනයට ලක් වූ කාන්තාව, සිය දියණිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන  සියදිවි නසාගත් බෑණා ඇතුළු පවුලේ අය එකම නිවසක ජීවත්වන බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

24 පෙරවරුවේද නැන්දම්මා හා බෑණා අතර ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී තිබේ. බෑණාගේ ජංගම දුරකතනය අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇති වී තිබේ. පසුව බෑණා විසින් නැන්දම්මාට පහර කීපයක් එල්ල කර ඇති අතර එයින් පසු නැන්දම්මා නිවසේ ඇද උඩම මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. නැන්දම්මා මිය යෑමෙන් පසු එම නිවසේම වෙනත් කාමරයක බාල්කයක කබයකින් එල්ලී බෑණා සියදිවි නසාගෙන තිබූ බව ඇල්පිටිය පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

13 views
Main News