නැවත කිසි දිනක ශ්‍රිලනිපය සමග දේශපාලනය නෑ… වෙනත් පක්‍ෂයක් සමග ආණ්ඩු කරන්න සූදානම්..- නිදහස් සේවක සංගමය කියයි..

May 2, 2018 at 6:24 am | lanka C news
නැවත කිසි දිනක ශ්‍රිලනිපය සමග දේශපාලනය නෑ… වෙනත් පක්‍ෂයක් සමග ආණ්ඩු කරන්න සූදානම්..- නිදහස් සේවක සංගමය කියයි..

ශ්‍රිලනිපය සෑම විටම අපේ දේ ආරක්ෂා කළා. ජාතික සම්පත් පිට රැටියන්ට වික්කේ නැහැ. සෑම විටම පංච මහා බලවේගය විශ්වාශ කළා. මෙවැනි හේතු නිසයි, අපි ශ්‍රිලනිපය සමග බද්ධ වෙලා දේශපාලනය කළේ. දැන් ශ්‍රිලනිපයේ මේ තත්ත්වය දක්නට නැතැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ඊයේ (01) කොළඹදී ප්‍රකාශ කළේය.

නැවත කිසිදු දිනක ශ්‍රිලනිපය සමග දේශපාලනය නොකරන බවත් සිය සංගමය රවට්ටන, බොරු පොරොන්දු දෙන වෙනත් පැත්තකට නොයන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. තම ඉල්ලීම් පිළිගන්නා ආණ්ඩු පිහිටුවීමට බලාපොරොත්තු වන ඕනෑම දේශපාලන පක්ෂයක් සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වීමට සූදානම් බවද ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කම්කරු රැලියේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. රැලිය, කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති අතර ඒ සදහා සංගමයේ සාමාජිකයින් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි විය. නිදහස් සේවක සංගමය, ශ්‍රිලනිපයෙන් වෙන්ව පවත්වන ප්‍රථම මැයි රැලිය වන්නේද මෙයයි.

මෙහිදී ප්‍රථමයෙන්ම රජයට ඉදිරිපත් කිරීම සදහා කම්කරු ඉල්ලීම් 06 ක් යෝජනා කර සියළු දෙනා ඒකමතිකව සම්මත කර ගත්තේය. බැදුම්කර වංචාව මගින් රටට අහිමි වූ මුදල ජනතාවගෙන් අයකර ගැනීම වහාම නැවතිය යුතුය. මාතෘ නිවාඩු සෑම වැඩකරන කාන්තාවකටම එක සමානව ලැබිය යුතුය. මෑන් පවර් ක්‍රමය හෙවත් අර්ධ වහල් ක්‍රමය වහාම මෙරටින් ඉවත් කල යුතුය. පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස් සීමාවද අවුරුදු 60 දක්වා වැඩි කල යුතුය. නව බදුක්‍රමයේ සැගවුණ බදු වහා අහෝසි කල යුතුය. සමූපකාර අංශයට පනවා ඇති වැට් බදු වහා ඉවත් කල යුතුය යන යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරුණි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා මෙසේද කීය.

මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා මැයි රැලියක් පවත්වන්න. ඇතැම් අය, මම පක්ෂයට දෝහි වුණා කියල චෝදනා කරන්නත් පුළුවන්. අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් සමග එකට හිටියේ එහි තිබූ යම් යම් ගුණාංග නිසා. ශ්‍රිලනිපය මැද මාවතේ පක්ෂයක්. අපේ රටේ දක්ෂිණාංශික පක්ෂ තිබෙනවා. වාමාංශික පක්ෂත් තිබෙනවා. ශ්‍රිලනිපයත් සමග සිටියේ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරපු පිරිසක්.

ශ්‍රිලනිපය සෑම විටම අපේ දේ ආරක්ෂා කර ගැනීමට වෙහෙසුනා. ජාතික සම්පත් පිට රැටියන්ට වික්කේ නැහැ. ශ්‍රිලනිපය සෑම විටම පංච මහා බලවේගය විශ්වාශ කළා. මෙවැනි හේතු නිසයි, අපි ශ්‍රිලනිපය සමග බද්ධ වෙලා දේශපාලනය කළේ. දැන් ශ්‍රිලනිපයේ මේ තත්ත්වය දකින්නට නැහැ. 1977 දී ජේ ආර් ජයවර්ධන මහත්තයා ශ්‍රිලනිප පාක්ෂිකයාට කොපමණ හිරිහැර කළාද? එවන් පක්ෂයක් සමග එකතු වෙලා අපිට දේශපාලනය කරන්න පුළුවන් කමක් නැහැ.

මැයි දිනය තහනම් කිරීමට එරෙහිව ක්‍රියාකළ අවස්ථාවේ අලෙවි මවුලානා සහෝදරයට බිම දමාගෙන ගැහුවා. බඩට පිහියකිනුත් ඇන්නා. මමයි ඉස්පිරිතාලෙට ගෙන ගියේ. අපි මුල් බැසගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක්. ශ්‍රිලනිපය, එජාපය සමග එකතු වුණා කියල අපේ සාමාජිකත්වය අඩු වුණේ නැහැ. එවන් තත්ත්වයක් තුල එජාපයත් සමග එකතු වූ ශ්‍රිලනිපය රකින්න අපිට වුවමණාවක් නැහැ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මට එතුමගේ වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් ධූරය දුන්නා. මම ඒ තනතුරෙනුත් ඉල්ලා අස් වුණා. අපි නැවත කිසි දවසක ශ්‍රිලනිපය සමග දේශපාලනය කරන්නේ නැහැ. ඒ වගේම අපිව රවට්ටන, අපිට බොරු පොරොන්දු දෙන වෙන පැත්තකට යන්නෙත් නැහැ. අපි ඉදිරියේදී මේ රටේ ආණ්ඩු පිහිටුවන්න බලාපොරොත්තු වන ඕනෑම දේශපාලන පක්ෂයක් සමග කටයුතු කරනවා. ඒ අපගේ ඉල්ලීම් පිළිගන්නා දේශපාලන පක්ෂ සමගයි. ඕනෑම පක්ෂයක අපේ හිතවත් අය ඉන්නවා. නමුත් ඡන්දය දෙන්නේ ප්‍රතිපත්ති මත පමණයි. යුරෝපීය රටවල වෘත්තීය සමිති ව්‍යාපාර එහෙමයි. තමන්ගේ ඉල්ලීම් විවෘතව ඉදිරිපත් කර ඒවා හෝ බහුතරයක් ඉල්ලීම් පිළිගන්නා දේශපාලන පක්ෂයට සහය ලබාදෙනවා.

ඉදිරියේදී අපිට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයට මුහුණ දෙන්න අපි ශක්තිමත් විය යුතුයි. දේශපාලනඥයන් පසුපස ගොස් යමක් ඉල්ලගන්න අපි සූදානම් විය යුතු නැහැ. මම අන්තර් ජාතික කම්කරු සම්මේලනයේ රැස්වීමකට මීට දින කීපයකට කලින් සහභාගි වුණා. මම ඔවුන්ට කිව්වා අපි ස්වාධීනව කටයුතු කරන බව. ඒ අය පුදුම වුණා. ඔවුන් කිව්වා අපිට දැන් තමයි හරියට වැඩ කරන ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වෙන්නේ කියල. ඒ නිසා අපි ස්වාධීන වීමත් සමග අපිට ජාත්‍යන්තරයේ සහය වෙනදාටත් වඩා ලැබෙන්න පුළුවන්.

කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා.

1886 දී ඇමරිකාවේ විකාගෝ නුවර සිදු වූ කම්කරු මර්ධනයත් සමගයි, ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වන්නේ. 1930 ගණන් වලදී ඊ ඒ ගුණසිංහ මහතා කම්කරු දින සැමරුම් උත්සවයක් පවත්වා තිබෙනවා. එය නැටුම්, ගැයුම්, වැයුම් වලින් පිරි එකක්. සටන්කාමී මැයි රැලියක් ප්‍රථස වරට පවත්වන්නේ මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂයි. 1956 දී බමුණු කුලයේ බිද වැටීම සිදු වන්නේත් මේ කම්කරු සටන් බලවේග හරහායි. 56 පෙරලිය සදහා මග පාදාදුන් කම්කරු සටන් මොනවාද යන්නත් වැදගත් වෙනවා. ටී බී ඉලංගරත්නයන් මහනුවර නගරයේ ව්‍යාපාර කටයුතු හරහා කම්කරු සටන් ආරම්භ කළා. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවය ජනසතු කරන්න මූලික වුණෙත් බස් මුදලාලිලා සේවකයින්ට වහලුන්ට මෙන් සැලකීමයි. රටේ සංවර්ධනයට වෘත්තීය සමිති විශාල දායකත්වයක් සපයා තිබෙනවා. පාසැල් පොත් අධික මිල ගණන් යටතේ ලබාදුන් අවස්ථාවේ ඇන් ඇම් පෙරේරා මහතා එහි මිළ අඩු කිරීම පිළිබදව කතිකාවක් ආරම්භ කළා. රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති රාත්‍රියේ නොමිළයේ වැඩ කර අඩු මිළට පාසැල් පොත් දරුවන්ට ලබා දුන්නා.

1977 න් පස්සේ තවමත් එජාපයට තනි ආණ්ඩුවක් හදන්න බැරි වුණා. තමන්ගේ නායකයට බැරි වුණාම ආදේශ නායකයින් සොයා ගත්තා. ආදේශ නායකයින් දෙවතාවක් පරාදයි. පසුගිය ජනාධිපතිවරණය ජයගත්තේ ශ්‍රිලනිපයේ ලේකම්වරයා ගෙනා නිසයි.

අධ්‍යාපන ධවල පත්‍රිකාව වෙනුවෙන් සටන් කළ 60000 ක් ඝාතනයට ලක් වුණා. බටලන්ද කොමිෂමෙන් තවත් ඝාතනයට ලක් වූ විශාල පිරිසක් පිළිබදව කරුණු අනාවරණය වුණා. මේවට විසදුම් සොයා ගන්න ශ්‍රිලනිප රජයන් දෙකටම බැරි වුණා. 56 සහ 70-77 සමාලෝචනය කරමින් නූතන යුගයකට ගැලපෙන දේශපාලන පරිවර්තනයක් සදහා නායකත්වය ලබා දෙන්න නිදහස් සේවක සංගමය කටයුතු කල යුතුයි. ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස ඔබට ඒ ගමන යා හැකියි.

1962 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ජාතික අධ්‍යාපනයට යම් අඩිතාලමක් දැම්මා. සියළු පෞද්ගලික පාසැල් රජයට පවරාගෙන එක් විෂය නිර්දේශයක් යටතේ ඉගැන්වීම් කළා. මේ වන විට රටේ දරුවන්ගෙන් ලක්ෂ 07 ක් පමණ ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයක්. එහි ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය නැහැ. අපේ දේ ගැන අපේ අනන්‍යතාවය ගැන කතා කරන්නේ නැහැ. අපිට අවශ්‍ය නැහැ, බ්‍රිතාන්‍ය පුරවැසියෙක් ලංකාවේ හදන්න. නැවත වරක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අරගල කරන්න සිදුවෙලා තිබෙනවා.

පිගන් සංස්ථාව අහෝසි කළා. ලංකාවේ පිගන් මැටි පිටරට ගෙනියනවා. අපි චීනයෙන් පිගන් ගේනවා. වානේ කර්මාන්ත ශාලාව වහල දැම්මා. වරායේ සහෝදරවරු දන්නවා අපි කොපමණ යකඩ බඩු පිටරටින් ගේනවද කියල. අපනයනය සංවර්ධනය කරන්න නම් නිශ්පාදනය වැඩිදියුණු කරන්න ඕනෑ. උතුරේ පිදුරු වලින් වාලච්චේනේ කඩදාසි නිශ්පාදනය කළා. අද පිටරටින් කඩදාසි ගේනවා. 56 සටන දෙවන නිදහස් අරගලය නමින් හැදින්වූවා. දැන් තෙවන නිදහස් අරගලයත් දියත් කරන්න කාලය එළඹිලා. ඒ සදහා ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා යුතුයි. නිදහස් සේවක සංගමය, ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස මේ සදහා පෙරමුණ ගත යුතුයි.

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති සමන් කුමාර මහතා ඇතුළු කීප දෙනෙක්ම මෙහිදී කතා කළහ.

– ජයකාන්ත ලියනගේ

160 views
Main News