නැවත යුද්ධයක් ආවොත් රටම ඉවරයි.. සංහිඳියාව පමණයි ඕනෑ..

April 6, 2017 at 5:30 pm | lanka C news
නැවත යුද්ධයක් ආවොත් රටම ඉවරයි.. සංහිඳියාව පමණයි  ඕනෑ..

කළුතර ගුරුළුගෝමි මහා විදුහලේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවය ඊයේ (05) කළුතර නගර ශාලාවේදී පැවැත්වින.

2007 වර්ෂයේ ජූලි මස 11 වන දින ළමුන් 113කින් ආරම්භ කරන ලද මෙම ගුරුළුගෝමි මහා විදුහලේ නිර්මාර්තෘවරයා වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතායි.

මෙම පාසලේ උසස් අධ්‍යාපනයට පමණක් සිසුන් බඳවා ගනු ලබන අතර මේ වනවිට උසස් පෙළ විෂය ධාරා සඳහා සිසුන් 496 දෙනෙකු ඉගෙනුම ලබයි. විදුහල්පති ජයන්ත සෝමරත්න මහතාගේ මුලික අධික්ෂණ කටයුතු යටතේ ගුරුවරුන් 32ක පමණ ප‍්‍රමාණයක් සේවය කරනු ලබයි.

ගතවුනු වසර 06 ඇතුළත මෙම විදුහලෙන් විශ්ව විද්‍යාලය වෙත සිසුන් 400කට අධික ප‍්‍රමාණයක් ඉංජිනේරු, නීති හා කලා යන ක්ෂේත‍්‍ර ඔස්සේ සරසවි වරම් ලැබී ඇති අතර මෙම විදුහල කළුතර දිස්ත‍්‍රික්කයේ දිදුළන සංධිස්ථානයක් වී ඇත.

පළමු වරට පවත්වනු ලැබූ මෙම වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී ව්ශ්ව විද්‍යාල වරම් ලැබූ සහ පාසලේ කැපී පෙනෙන දක්ෂකම් දැක්වූ සිසුන් 202කට විශේෂ කීර්ති සම්මාන පුදකල අතර දැනට අධ්‍යාපනය හදාරන සිසුන් 192කට විවිධ ක්ෂේත‍්‍ර මත ඇති දක්ෂතා මත සම්මානයෙන් පිදුම් ලබන ලදී.

පසුගිය වසර කිහිපය තිස්සේ පාසල වෙනුවෙන් දරුවන්ගේ නැණස පෑදීමට මහත් සේ උනන්දුවෙන් කටයුතු කල විශ‍්‍රාමලත් විදුහල්පතිවරුන්ට සහ ගුරු දෙගුරුන්ටද එහිදී සම්මාන පුදකරන ලදී.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා…

මෙම විදුහල ආරම්භ කිරීමට ගුරුවරු ළමුන් හොයා ගන්න අපහසු වුනා. ආරම්භයේ සෑහෙන්න උත්සාහයක් අරන් තමයි මේ තත්වයට ගෙනාවේ. අද ලංකාවේ උසස් පෙළ පමණක් උගන්වන එකදු පාසලක්වත් තවත් නැහැ. ඒ තියෙන එකම පාසල කළුතර ගුරුළුගෝමි මහා විදුහලයි. මෙම පාසලට ගුරුළුගෝමි කියල නම තැබුවෙත් මම.

මම ජනාධිපතිතුමාටත් අධ්‍යාපන අමාත්‍යතුමාටත් යෝජනා කලා උතුරු පළාතටත් මෙවැනි පාසලක් අවශ්‍ය බව. එහිදී ජනපතිගේ ආශිර්වාදය මත වවුනියාවේ පාසලක් එම විෂය ධාරාවන් ඉගැන්වීමට අවස්ථාව ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. තවද එම පාසලේ සිංහල මාධ්‍යත් දෙමළ මාධ්‍යත් ඉංග‍්‍රීසි මාධ්‍යත් කියන මාධ්‍ය තුනම ඒකරාශි කරගත් පාසලක් බවට පත්කිරීම මාගේ අරමුණයි.

පසුගිය කාලය තුල ලබාදුන් තාක්ෂණික විද්‍යාගාර සුදුසු ස්ථාන වල ස්ථාපිත කර නැති බව මාගේ හැඟීමයි. තාක්ෂණය කෙසේ වෙතත් විද්‍යා ගුරුවරු එය පරිහරනය කරගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. වැඩක් කෙරෙන බව ඇත්ත. නමුත් හිරමනය පොල් නොගෑවත් වාඩිවෙන්න හරි ගන්න පුළුවන්නේ. මෙම විද්‍යාගාර වලින් ගතයුතු නියම ප‍්‍රයෝජනය තවම හරියාකාරව අරගන්නේ නැහැ.

අපේ රට ඉදිරියට ගෙනියන්න නම් රට සංවර්ධනය කිරීමට අවශ්‍ය ඥානය දිය යුතුයි. තාක්ෂණය පැත්තට මේ රට හැරවිය යුතුයි. නමුත් එය නිසියාකාරව භාවිතා කිරීමද කල යුතුයි. කවුරු ආරම්භ කලත් නතර කලත් නැවත පුනර්ජීවනය දීලා ප‍්‍රති නිර්මාණය කරලා ප‍්‍රතිභාවයකින් යුතුව නැවත තාක්ෂණික පාඨමාලා අපගේ අධ්‍යාපනයට ගෙනත් දුන්නොත් ඒවා ඉගෙන ගන්න දරුවන්ගේ ජීවිත ශක්තිමත් වන බව මාගේ මතයයි.

මා යෝජනා කලා උතුර දකුණ යාකර වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න කියලා. හුවමාරු වැඩසටහනක් ආරම්භ කරන්න, දැනුම බෙදා ගන්න, අත්දැකීම් බෙදා ගන්න, ජාතික සංහිඳියාව ඇති කරන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න කියලා. අපි මොනතරම් ඉගෙන ගත්තත් මේ රට නැවත වතාවක් යුද්ධයකට අවතීර්ණ වුනොතින් මේ රටට කිසිම අනාගතයක් නැහැ. මේ රටේ අනාගතය පවතින්නේ සාමය, සමඟිය, සංහිඳියාව තුල පමණයි.

– වජිර කොඩිතුවක්කු

52 views
Main News