නිධන් කඩන්න ගිය පොලිස් ස්ථානාධිපති හා කොස්තාපල් අත්අඩංගුවේ..

March 21, 2019 at 8:02 am | lanka C news
නිධන් කඩන්න ගිය පොලිස් ස්ථානාධිපති හා කොස්තාපල් අත්අඩංගුවේ..

පුරාවස්තු කැනීමකට අනුබල දීමේ චෝදනාව යටතේ වව්නියාව ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති වරයා සහ පොලිස් කොස්තාපල් වරයෙකු අත්අඩංගුවට ගත් බවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා කියා සිටියේය.

වවුනියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී වලදමන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට ගොස් අත්අඩංගුවට පත් සැකකරුවන් 05 දෙනා සම්බන්ධයෙන් වව්නියාව පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද පුලුල් පරික්ෂණයකින් අනතුරුව අදාල පොලිස් ස්ථානාධිපති වරයා සහ කොස්තාපල් වරයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 17 වනදා වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය වල දමා ඇති බවට සැකකෙරුනු රත්තරන් ගොඩ ගැනීමේ උත්සහයක නිරත වෙමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු වව්නියාව දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගත් අතර අදාල සිදුවීම සිදු වූ ස්ථානයට ආසන්නයේ දැනට අත්අඩංගුවේ පසුවන මෝටර් රථයක ඊච්චන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල් වරයෙකු සිට වැටලීම සිදුකල පොලිස් නිලධාරීන් විසින් හඳුනාගනු ලැබීය.

අනතුරුව සැකකරුවන්ගේ ජංගම දුරකතන වල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකතන අංක සහ පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුවන් හමුවීම යන කරුණු ඔස්සේ පරික්ෂණ ආරම්භ කල වව්නියාව පොලීස විසින් ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ඨාශයටත් කොස්තාපල් වරයා මන්නාරම් කොට්ඨාශයටත් ස්ථාන මාරු කොට යවනු ලැබුවේ පරික්ෂණ කටයුතු අවසන් වන තුරුය.

ඊච්චන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සමීපයේ තිබූ මෝටර් රථය , ජංගම දුරකතන 9ක් , සහ උදලු ඇතු පොළව හෑරීමට යොදාගන්නා උපකරණ රැසක් වව්නියාව දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

7,752 Viewers
Main News