නිධන් හෑරු කල්ලියක් නිධානයත් සමගම අත්අඩංගුවට.. ගොඩගත් නිධානය මෙන්න..

March 24, 2019 at 8:40 am | lanka C news
නිධන් හෑරු කල්ලියක් නිධානයත් සමගම අත්අඩංගුවට.. ගොඩගත් නිධානය මෙන්න..

පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරා විද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුලු නිධානයද සහිතව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

මරතෝඩි මන්සන්ධියේ සිට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශයක මෙම සැකකරුවන් බැකෝ යන්ත්‍රයක් දමා නිධානය ගොඩ ගැනීම සිදු කොට ඇති අතර ඒ පිළිබඳ පුලියන්කුලම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ලඟා වන විට නිධානය හෑරු පුද්ගලයින් නිධානය ගැනීමට හෑරු වල වසමින් සිට ඇති අතර එම අවස්ථාවේදී ප්‍රදේශය වටලා සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නිධානය හෑරු සැකකරුවන් ලඟ තිබී අඟල් 09ක් උස කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක්, අනුරාධපුර යුගයට අයත් අඟල් 19ක් ලොකු පුරාතන මැටි පහනක්, මැටියෙන් සාදන ලද මෙතෙක් හඳුනානොගත් බෝලයක් වැනි දෙයක්, කොතක කොටස් දෙකක් , බැකෝ යන්ත්‍රයක්, ත්‍රී රෝද රථයක්, හා නිධානය ලබා ගැනීමට යොදා ගත් උපකරණ හා ද්‍රව්‍ය තොගයක්ද සොයා ගෙන ඇත.

එමෙන්ම අදාල ස්ථානයේ තිබී වටිනා නිධානයක් ලබා ගත්තේද යන්න පිළිබඳව මේ වන විට පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පුලුල් පරික්සණයක් අරඹා ඇත.

සැකකරුවන් සතුව තිබූ පෞරාණික වස්තු වලට අනුව කැනීම සිදුකල ස්ථානය පුරාතනයේ පන්සලක් තිබූ බවටද අවට ඇති ගල් කනු ඇතුලු නටඹුන් වලින් පෙනී යන බවටද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, පුලියන්කුලම, ත්‍රීකුණාමලය, තලවකැලේ යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසිය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,203 views
Main News