නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පැමිණිල්ලක්…

March 23, 2017 at 12:40 pm | lanka C news
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පැමිණිල්ලක්…

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබේ.

ඒ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පොලිස්පති,
ශ්‍රී ලංකා පොලිසිය,
කොළඹ.

මහත්මයාණෙනි,

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පැමිණිල්ලක්

පසුගිය 2015 මාර්තු මස ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ වැළැක්වීමට කියා ෆුල් ෆේස් හිස්වැසුම් තහනමක් ක්‍රියාත්මක කිරීමට ඔබ ආයතනය හෝ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ලොව මාෆියාව හා ත්‍රස්තවාදී තර්ජන තිබෙන රටවල පවා ෆුල් ෆේස් තහනම් කොට නොමැතිව තිබෙන යුගයක, අප රටේ වගකිවයුතු ආයතනයක් ලෙස පොලිසිය ගත් ඒ අතීසාරයට අමුඩ ගසනා තීරණයට සමස්ත ජනතාවගේ දැඩි විරෝධය එල්ලවුණි. එපමණක් නොව එකල මාධ්‍ය ප්‍රකාශව ක්‍රියා කෙරු අජිත් රෝහණ මහතා ෆුල් ෆේස් පළදින අය හොරුන් හා කොල්ලකරුවන් බවට ප්‍රකාශ කරමින් මහජනතාව ඉදිරියේ ඔබ ආයතනය විහිළුවක් බවට පත් කළේය. පසුව පහත් තැනින් ජලය බැසයමින් පාට මාරුවක් කරමින් තහනම කරන්නේ යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව සදහා යැයි තවත් තර්ක ඔබ ආයතනය ගොඩනැගුවාවුවත් එම තර්කවල කිසිදු සත්‍යයක් තිබෙන බවට ජනතාව පිලිනොගත්තේය (තරක අනුව වාහනයක සුක්කානමින් මීටරය මොහොතකට හෝ අවහිර වීම වැරදිය). ඉන් එම පහත් නැන සිටපු නිළධාරියාගේ හිසමතින් මෙම ප්‍රශ්නය අවසන් වුනේය. අවසානයේ දී ෆුල් ෆේස් හිස්වැසුම් තහනම නිසා ඒවෙනුවට ප්‍රමිතියක් නොමැති හිස්වැසුම් තරුණයන් අතට හා ජනතාව අතට පත්වුණී, ඒවා මහජනතාව අතර ප්‍රසිද්ධ වුනී. අදත් පොලිසියට බියවු තරුණයන් හා මහජනතාව ෆුල් ෆේස් හිස්වැසුම් ගෙදර තබා බාල හිස්වැසුම් පැළද පොලිසිය වෙනුවෙන් තම ජීවිතය මහමඟ පූජා කරයි. ඒහැම අකුසලකටම, පාපයකටම, කදුළු බිංවකටම ඔබ ආයතනය වන්දි නොගෙවුවත්, දහමට අනුව මෙම කාරණාවට සම්බන්ධ සියලුම අයට විපාක සිදුවනවා නොඅනුමානය.

2014 වසරේදි යතුරුපැදි මාරක අනතුරු ඇසුරෙන් ශ්‍රී ලංකා පොලිසිය කෙරු සමීකරණයකට අනුව 569 ගෙන් 457 දෙනෙකුගේ ජිවිතය නැතිවූයේ සාමාන්‍ය හිස්වැසුමක් පැළඳ සිටියදී හිසට හානියක් සිදුවීමෙනී. නමුන් ෆුල් ෆේස් හිස්වැසුම් පැලද සිටි කිසිවෙකු හිසට හානියක් සිදුවීමෙන් මියගොස් තිබුණේ නැත. ඇමරිකාවේ හිස්වැසුම් පිලිබඳ කෙරු පරීක්ෂණයන්ට අනුව ප්‍රමිතියකින් යුතු සාමාන්‍ය හිස්වැසුමක් රැඳවුම් පටිය සවිකළ තිබියදීත් අනතුරකදී ඇතිවන බලවේගයන් වලදී ගැලවීයාමේ ප්‍රවනතාව 66% ලෙස සදහන් වේ. නමුත් ෆුල් ෆේස් හිස්වැසුමක එය 0.8% වේ.

මහජනතාව පිලිගන්නා වගකිවයුතු, ප්‍රායෝගිකව සිතන, බුද්ධිමත් ලෙස ක්‍රියා කරන පොලිසියක් සෑදීම ඔබේ අරමුණ බවට ඔබේ වචන හා ආයතනයේ මැත ක්‍රියාවන් තුලින් අද අපට හා මහජනතාවට පැහැදිලිවීමක් ඇතිවෙමින් පවති. එවැනි යුගයක ඊයේ (22) දිනයෙදී දෙරණ රූපවාහිනී නාලිකාවේ නව පාර්ලිමේන්තුව නම් සජීවි වැඩසටහනකට සහභාගීවූ නියෝජ්‍ය පොල්ස්පති අජිත් රෝහණ මහතා ෆුල් ෆේස් තහනම හොඳ දෙයක් බවත් එයට විරුද්ධව කටයුතු කලේ ඇසුත් වසාගෙන යන්න ඕනෑ අය බවත්, ෆුල් ෆේස් නිසා තවමත් අපරාධ සිදුවන බවත්, ෆුල් ෆේස් හිස්වැසුම නිසා ජීවිත බේරුනා යැයි කීමට සාධක නොමැති බවත් ප්‍රසිද්ධියේ පදනම් විරහිත ප්‍රකාශ කෙරුවේය. තවද එම අසත්‍ය ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ හිස්වැසුමකින් පුද්ගලයකුගෙ මුහුණට හා මුඛයට කුමක් වුවත් කමක් නෑ, ජිවිතය බේරුනානම් ඇති කියාය.

ෆුල් ෆේස් හිස්වැසුම්වල ආරක්ෂාව පිළිබඳ අප සංගමය සතු ඇති වෛද්‍ය හා විද්‍යාත්මක කරුණු බොහෝය. එම විද්‍යාත්මක කරුනුවලට අනුව සාමාන්‍ය හිස්වැසුමකින් යතුරුපැදි අනතුරකදී යතුරුපැදිකරුවාගේ ජීවිතය ආරක්ෂා කිරීමට ඇති හැකියාව ඉතා අල්පය. මෙවන් අන්තර්ජාතික විද්‍යාත්මක කරුණු තිබියදී ඔබ ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මහජනතාව ඉදිරියේ මෙවන් සිල්ලර කතා කීම අපි සංගමයක් ලෙස දැඩි විරෝධය පලකරන අතර ඔබ ආයතනයනද එය හෙලාදැකිය යුතුය. මෙවන් මානසික තත්වයන් තුල සිටිනා නිලධාරීන්ගේ මානසික මට්ටම ජනතාවට හිතකාමී තත්වයකට පත්කිරීමට අවශ්‍ය මනොවිද්‍යාත්මක ප්‍රතිකාර හෝ අනුශාසනය ලබාදීමට කටයුතු කරන ලෙස අපි සංගමයක් ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමු. එමගින් ශ්‍රී ලංකා පොලිසිය ජනතාව අතරේ ඉතාමත් සුභ තත්ත්වයක් කරා ගෙන යෑමට ඔබ දරණ වෑයම සාර්ථකවනු ඇත. නැතහොත් එය පටගත් තැනම අවසන්වනු ඇත. මේ ලිපිය සමඟ අමුනා එවන රූපයටත් අවධානය යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිමූ.

මෙවන් සංවේදී කාරණාවන් හා කාලීන වැඩසටහන් වලදී අදාල පාර්ශ්වයන් සම්බන්ධ නොකර, පාලුගෙයි වලන් බිදීමට ඉඩ නොදීමට වගකිවයුතු මාධ්‍යන් වගබලාගත යුතු ය.

මෙයට,
චිරන්ත අමරසිංහ,
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

25 views

3 Comments to “නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පැමිණිල්ලක්…”

  1. PAGA POLICE says:

    This man is criminal supporter who helped Embilapitiya police muder

    • harsha says:

      පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙච්ච දවසේ ඉඳන් මූව දැක්කාම අප්පිරියයි. ඇඹිලිපිටිය සිද්ධියට ගොඩක් කලින්.

  2. bathkana eka says:

    hats off chirantha.

Main News