නීතිවිරෝධීව ගෙනා වියලි කහ කිලෝ දහසක් මුහුදේදී අත්අඩංගුවට… ගෙනා පුද්ගලයා නිරෝදායනයට..

July 31, 2020 at 2:03 am | lanka C news
නීතිවිරෝධීව ගෙනා වියලි කහ කිලෝ දහසක් මුහුදේදී අත්අඩංගුවට… ගෙනා පුද්ගලයා නිරෝදායනයට..

මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙනැවිත් තිබූ වියළි කහ කිලෝ 999 ග්‍රෑම් 500 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

උතුරුමැද නාවික විධානයට අයත් කණ්ඩායමක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක දී කිසියම් ද්‍රව්‍යයක් සැකසහිත ලෙස අසුරන ලද ගෝනි කිහිපයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක්කර ඇත.

එහිදී එම ගෝනි උර තුළ අසුරන ලද වියළි කහ තොගයක් සොයාගෙන ඇති අතර, එහි කිලෝ 999 ග්‍රෑම් 500 ක බරින් යුත් එම වියළි කහ තොගය මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව අනාවරණය වීමෙන් පසුව එම පුද්ගලයා නාවික හමුදා භාරයට ගනු ලැබීය.

අදාල වියලි කහතොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

නාවික හමුදා බාරයට ගත් එම කහ තොගය, වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර පවතින කොවිඩ් 19 අවදානම් තත්ත්වය මත අදාළ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කර තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

170 views
Main News