නුගේගොඩ රැළියට ආණ්ඩුව මෙතරම් බිය ඇයි.. රහස මෙයයි..

February 1, 2017 at 7:05 am | lanka C news
නුගේගොඩ රැළියට ආණ්ඩුව මෙතරම් බිය ඇයි.. රහස මෙයයි..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ලංකා ඉතිහාසයේ දැවැන්තම රැලිය නුගේගොඩ රැලිය බව අවිවාදයෙන් පවසන්න පුළුවන්. එවැනි ජන ගංගාවක් මීට පෙර කිසිම රැලියකට පැමිණ නෑ. මේ රැලියේ සාර්ථකත්වය ක්‍රම දෙකකට මනින්න පුළුවන්. පළමු ක්‍රමය තමයි සතුරාගේ විවේචනය. ආණ්ඩුවේ නායකයින් පුන පුනා පවසන්නේ නුගේගොඩ රැලිය අසාර්ථක බවයි. ෆොන්සේකා ඇමතිතුමාගේ 4,000 සිට නලින් බණ්ඩාර මන්ත්‍රිතුමාගේ 40,000 දක්වා විවිධ ඉලක්කම් කියමින් රැලිය අසාර්ථක බව පෙන්වන්න හදනවා. අපේ රැලිය අසාර්ථක නම් ඇයි ආණ්ඩුව මෙතරම් කලබල වෙන්නේ? දැන් පසුගිය වසර දෙක තුල ආණ්ඩුව විවිධ රැස්වීම් කීයක් පැවැත්වුවා ද ? අපි ඒවා අසාර්ථක බව පවසන්න ගියේ නෑ. හේතුව වුණේ අපි අමුතුවෙන් නොකීවත් සෙනග දුටු ජනතාව රැස්වීම් අසාර්ථක බව දැන ගත්තා. මේ රැස්වීමට දැවැන්ත ජනතාවක් සහභාගි වුණු නිසා තමයි ඒක අසාර්ථක බව ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව අසාර්ථක උත්සාහයක යෙදී සිටින්නේ. ආණ්ඩුව මොනවා කීවත් සෙනග දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට ජනතාව දැක්කා. කැමරා කුරුල්ලන් මගින් ඉහළ අහසේ දී ලබා ගත් කිසිම ඡායාරූපයක දෙකොන පේන්නේ නෑ. එතරම් දැවැන්ත සෙනඟක් හිටියා.

සාර්ථකත්වය මනින දෙවන ක්‍රමය තමයි සතුරාගේ ප්‍රතිචාරය. රැලියට ජනතාව ආවේ ආණ්ඩුව ජනතාවට කන්න කියන ක්‍රෝටන් සහ කොස් කොල රැගෙනයි. නායකයින් සිය කතා වල දී ජීවන වියදම ඉහළ යෑමෙන් ජනතාව විඳින දුක විස්තර කළා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? රැස්වීම අවසන් වී පැය 24ක් ඇතුලත අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ පහත දමනවා. රුපියල් 10කින් පරිප්පු ද රුපියල් පහකින් හාල් මැස්සන් ද රුපියල් 15කින් මුං ඇට ද රුපියල් දෙකකින් සීනි ද රුපියල් පහකින් අර්ථාපල් ද සඳහා වූ උපරිම සිල්ලර මිළ අඩු කර තිබෙනවා. ඒ වගේමඑදා රාත්‍රි 12 සිට ආනයනිත හාල් සඳහා තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් දහයකින් අඩු කළා. දැන් ජනතාව අපෙන් ඉල්ලා සිටින්නේ ජීවන වියදම හොඳටෝම වැඩි නිසා තව තවත් රැස්වීම් පවත්වලා බඩු මිළ අඩු කරලා දෙන්න කියලායි.

නුගේගොඩම තෝරා ගත්තේ ඇයි?

මෙතරම් ජන ගඟක් එනවා නම් දැවැන්ත පිට්ටනියක් තෝරා ගන්නේ නැතුව නුගේගොඩ පැවැත්වූයේ ඇයි කියලා ඇමතිවරු අහනවා. ඒකට හේතු තුනක් තිබෙනවා. පලමු හේතුව තමයි ලංකාවේ ජන මතය හසුරුවන මධ්‍යම පන්තිය ඇමතීමට හොඳම තැන ලෙස සලකන්නේ නුගේගොඩ. කොළඹ පිට්ටනි වලට එන බහුතරයක් වැඩ කරන ජනතාව. දෙහිවලින් කෝට්ටෙන් කිරුලපනේන් මහරගමෙන් නුගේගොඩට එන්නේ මධ්‍යම පන්තිය. ඒ නිසා ජන මතය හසුරුවන මධ්‍යම පන්තිය ඇමතීමේ වැදගත්කම අපි සැලකුවා.

දෙවන හේතුව තමයි නුගේගොඩින් ආරම්භ කරන දෙයක් සාර්ථක වෙනවා කියන ජනතා විශ්වාසය. 1989 ජූනි 9 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය දැවැන්ත රැලියට තෝරා ගත්තේ නුගේගොඩ. එදා අන්තරේ ජවිපෙ පිටිපස්සෙන් තබා ගෙන කරපු සන්නද්ධ අරගලය ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වුණේ උපක්‍රමික වැරදි නිසා. ඒ වගේම 1991 දී ලලිත් – ගාමිණි දෙපල එජාපයෙන් ඉවත් වී නව දේශපාලන බලවේගයක් බිහි කරන බවට ප්‍රකාශ කරන රැලිය පැවැත්වූයේත් නුගේගොඩ. එදා බිහි කරපු ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ලංකා ඉතිහාසයේ දශ ලක්ෂයක් ඡන්ද ගත් එකම තෙවන බලවේගය වුණා.

තෙවන හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂයට නුගේගොඩ තිබෙන වැදගත්කම. අපි 2015 පෙබරවාරි 18 පැවැත්වූ ඓතිහාසික රැලිය තමයි ඒකාබද්ධ විපක්ෂය බිහි කිරීමේ ප්‍රාණ බීජය. ඒ නිසා ආණ්ඩුව එලවීමේ සටනත් නුගේගොඩින් ආරම්භ කරන්න ඕනෑ කියලා හිතුවා.

– අරවින්ද අතුකෝරල

550 views
Main News