නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට…

July 17, 2017 at 8:02 am | lanka C news
නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට රජයට…

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම අද (17) පෙරවරු 10.00 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙ පිළිබදව අදහස් පළ කළේ මෙලෙසයි.

“එම රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා. ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළුම අංගෝපාංග එම රෝහල සතුයි. රෝහල ඉදිකිරීම සදහා ලබාගත් බැංකු ණය සියල්ලම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබනවා. මෙය දානමය පරිත්‍යාගයක්. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එය අගෝස්තු මස 01 සිට ක්‍රියාත්මක කරනවා. සයිටම් වෛද්‍ය පීඨයේ එක් ගැටළුවක් වන රෝහලට රෝගීන් නැතිවීෙමි ප්‍රශ්ණය මෙමගින් විසදන්න පුළුවන්. නැගෙනහිර කොළඹ ජනතාවට මහරෝහලක අවශ්‍යතාවයක් ද තිබුනා. විශේෂඥ වෛද්‍යවරු 44 ක් මෙහි සේවය කරනවා. තවත් වෛද්‍යවරු 70 කට අධික සංඛ්‍යාවක් මෙහි සේවය කරනවා. අඩුපාඩු සකස් කරමින් මහජන සේවාවන් සදහා එය විවෘත කිරිමෙි දී විශාල ජනතාවකට සෙත සැළසෙනවා. තව ද විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132 ක මුදල ඉතිරිකර ගැනීමට හැකියාව ලැඛෙනවා. මෙමගින් තවත් ආයෝජන ව්‍යාපෘති ලැඛෙන්න පුළුවන්. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියයට 100 ක් ම දේශීය ආයෝජනයක් වීම ද වැදගත්.”

– ප‍්‍රසන්න අධිකාරී

200 views
Main News