නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට 2018 වසරේ දී රුපියල් මිලියන 1700 ක්…

December 24, 2017 at 2:12 am | lanka C news
නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට 2018 වසරේ දී රුපියල් මිලියන 1700 ක්…

රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල සදහා 2018 වසරේ දී රුපියල් මිලියන 1700 කට වැඩි මුදලක් වැය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

2018 වසරේ දී අක්ෂි කාච ඉල්ලුම 150,000 ක් බව දැනට ඇස්තමේන්තු කර ඇත. 2017 වසරේ දී අක්ෂි කාච ලක්ෂයක් ආනයන කර රජයේ රෝහල් වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර තිබේ. එය ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් ගැටලු මතු වූවත්, 2018 වසරේ දී කිසිදු ගැටලුවකින් තොරව නොමිලේ අක්ෂි කාච ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

වයස අවුරුදු 40 ට වැඩි, වැඩිහිටි ජනගහනයෙන් සියයට 1.7 ක් මේ වන විට අක්ෂි රෝග වලට ගොදුරුව ඇත. 2026 වන විට වැඩිහිටි ජනගහනයෙන් සියයට 26 ක් අන්ධභාවයට පත්වන බවට සංඛ්‍යා ලේඛණ අනාවරණය කරයි.

එම නිසා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් ජනතාව අන්ධභාවයෙන් වළක්වා ගැනීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තවද අක්ෂි ශල්‍යකර්ම පොරොත්තු ලේඛණය අවම කර ගැනීම සදහා පෞද්ගලික රෝහල් වල දී ද ශල්‍යකර්ම සිදු කිරීමේ වැඩපිළිවෙලක් 2018 වදරේ දී ආරම්භ කිරීමට නියමිතය. ඒ සදහා වැය වන මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරනු ලබයි.

– ප‍්‍රසන්න අධිකාරී

44 views
Main News