නොමිලේ ‘සුවසැරිය’ හිලවුවට ගාළු වරායේ කොටසක්ද.. නිර්මාතෘගෙන් කට උත්තරයක්..

August 29, 2018 at 6:48 pm | lanka C news
නොමිලේ ‘සුවසැරිය’ හිලවුවට ගාළු වරායේ කොටසක්ද.. නිර්මාතෘගෙන් කට උත්තරයක්..

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

“සුවසැරිය“ මෙරට ක්‍රියාත්මක කරන්නේ GVK කියන ඉන්දීය සමාගම නෙවෙයි. මේක 100% අපේ රජයට අයත් ව්‍යාපෘතියක්

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරමින් “සුවසැරිය“ නිර්මාතෘ කරුණු පහදයි

“සුවසැරිය“ ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන්නේ GVK යන ඉන්දීය සමාගමින් බවත් එයට හිලව් වීම සඳහා ගාලු වරායේ කොටසක් සංචාරක බෝට්ටු නැවතුම්පොළක් ආරම්භ කිරීමට එම සමාගමට ලබාදීමට රජය සූදානම් වන්නේ යැයි ඊයේ (28) මාධ්‍ය හමුවක් තබමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නැමති සංවිධානයක් චෝදනා කළේය.

“සුවසැරිය“ ගිලන් රථ සේවාවේ නිර්මාත‍ෘවරයා ලෙස මෙම චෝදනාව මා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ඔවුන් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ සාවද්‍ය කරුණු නිවැරදි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කරමි.

01. “සුවසැරිය“ ගිලන් රථ සේවාව මෙරට ක්‍රියාත්මක කරන්නේ GVK යන ඉන්දීය සමාගම මගින් නොවේ. එය 100% ක්ම මෙරට රජයට අයත් ව්‍යාපෘතියකි

“සුවසැරිය“ ගිලන් රථ සේවාව ආරම්භ කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් ඩොලර් මිලියන 22.7 (පළමු අදියරට ඩොලර් මිලියන 7.5 ක් සහ දෙවන අදියරට ඩොලර් මිලියන 15.2 ක්) ක යළි නොගෙවන ප්‍රදානයක් භාවිතා කරමින් වන අතර මෙම සේවාව ආරම්භයේ පටන් ශ්‍රී ලංකා රජය විසින් මෙම සේවාව ක්‍රියාත්මක කරන ලදී. පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනතකින් ස්ථාපිත කර තිබෙන “සුවසැරිය“ ගිලන් රථ සේවාවේ 100% ක කොටස් අයිතිය ශ්‍රී ලංකා රජය සතුවන අතර එය GVK යන ඉන්දීය සමාගම මගින් ක්‍රියාත්මක කරන සේවාවක් යැයි මොවුන් කරන චෝදනාව සාවද්‍ය එකකි. එසේම, ඉන්දීය රජය මගින් ලබාදුන් ප්‍රතිපාදන මගින් මෙම සේවාව මුලින් ආරම්භ කළත් ඉන්පසුව අඛණ්ඩවම මෙම සේවාව පවත්වාගෙන යන්නේ මෙරට ජනතාවගේ බදු මුදල් වලින් බව සඳහන් කරමි.

“සුවසැරිය“ ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් ආරම්භ කර තිබෙන සුවසැරිය පදනමට මුදල් අමත්‍යංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, පොලිස්පතිතුමා ඇතුළු මෙරට හිටපු කීර්තිමත් නිළධාරීන් ඇතුළත් වන අතර GVK සමාගම මෙම පදනමට කිසිදු සම්බන්ධතාවයක් නොමැත.

මේ අනුව, “සුවසැරිය“ ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන්නේ GVK යන ඉන්දීය සමාගමින් බවත් එයට හිලව් වීම සඳහා ගාලු වරායේ කොටසක් සංචාරක බෝට්ටු නැවතුම්පොළක් ආරම්භ කිරීමට එම සමාගමට ලබාදීමට රජය සූදානම් වන්නේ යැයි මොවුන් කරන චෝදනාව දේවේශ සහගත චෝදනාවක් බව මා තරයේ අවධාරණය කරමි.

ඉන්දීය රජයේ ප්‍රදානය මගින් මෙම සේවාව ආරම්භ කරන විට ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා ඉන්දීය සමාගම් කිහිපයක් එක්වී සිටි අතර එම සේවාවන් ශ්‍රී ලංකා රජය ලබාගත්තේ එම සමාගම් වෙත මුදල් ගෙවමින් මිස නොමිලේ නොවේ. මේ අනුව, TATA, ටෙක් මහේන්ද්‍රා, VIVE සොලියුෂන්ස්, ස්කයි මැප් ග්ලෝබල් ඉන්ඩියා, ඔරේන්ජ් බිස්නස් සර්විස්, කේ කම්පියුටර්ස්, ස්නේහා ටෙක්නොලොජීස් සහ GVK EMRI සමාගම මේ සඳහා සම්බන්ධ වී තිබුණි. මේ අනුව, “සුවසැරිය“ සේවාව සමග GVK සමාගම සම්බන්ධ වූයේ එම සමාගම් සමූහයට අනුබද්ධ GVK EMRI සමාගම හරහා තාක්ෂණික පහසුකම් සලසන්නා ලෙසින් පමණක් වන අතර ඒ වෙනුවෙන් එම සමාගමට ශ්‍රී ලංකා රජය විසින් ගාස්තු ගෙවා තිබේ. මේ අනුව, මා පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ “සුවසැරිය“ යනු මෙරට ජනතාව විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් මිස GVK සමාගම විසින් මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් නොවන බවයි. එසේ නම්, මෙම සේවාව මුල් අදියරේදී ක්‍රියාත්මක කිරීමට මුදලට පහසුකම් සැලසූ ඉහත සඳහන් කළ කුමන හෝ සමාගමක් මෙරට සිදුකරන කිසිදු ආයෝජනයක් සමග “සුවසැරිය“ ගිලන් රථ සේවයේ සම්බන්ධයක් නොමැති අතර ඒවා කෙරෙහි බැඳීමක්ද නොමැති බව මා මෙහිදී අවධාරණය කරමි.

විදේශීය ආයෝජන වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය වකවානුවක යම් පාර්ශවයක් විසින් ගාලු වරායේ කොටසක සංචාරක බෝට්ටු නැවතුම්පොළක් ඉදිකරනවා නම් එය මෙරටට වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරන අතර එය කළ යුත්තේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් පමණක් යැයි මා මෙහිදී සඳහන් කරමි. එය වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයේ කාර්ය භාරයක් වන අතර ඒ පිළිබඳව එම අමාත්‍යංශයෙන් විමසීමේ අයිතිය සෑම දෙනාටම ඇත. එම කටයුත්ත විනිවිදභාවයකින් තොරව සිදුකරනවා නම් එයට විරුද්ධව අධිකරණයට යෑමේ අයිතියද පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නැමති සංවිධානය ඇතුළු සියළු දෙනාටම තිබේ. නමුත්, මෙරට ජනතාවට අසීමිත සේවයක් සලසමින් සිටින “සුවසැරිය“ ගිලන් රථ සේවාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු ඉදිරිපත් කරමින් මෙම සේවාව අපකීර්තියට ලක්කිරීමට ගන්නා මේ උත්සාහය මා දැඩි ලෙස හෙළා දකිමි.

02. “සුවසැරිය“ ජනතාව සුවපත් කරන විට සමහරුන්ට රිදෙන්නේ ඇයි?

ඇතමුන් සිතන්නේ “සුවසැරිය“ ජනප්‍රිය වුවහොත් ඔවුන්ට එය දේශපාලනික වශයෙන් අවාසි බවයි. මා අවධාරණය කරන්නේ “සුවසැරිය“ යනු දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවයි. යමෙකු ගිලන් වූ විට 1990 ඇමතූවිට මෙම සේවය පිහිටට එන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂය, කුලය, ආගම, ජාතිය ගැන සැලකිලිමත් වෙමින් නොවේ. මෙම සේවාව ආරම්භ කළ 2016 ජූලි 29 වනදා සිට මේ දක්වා රෝගීන් 93,000 ක් පමණ රෝහල් ගතකර තිබෙන අතර රෝගීන් වෙත සාමාන්‍යයෙන් විනාඩි 12 යි තත්පර 59 ක් තුළ ළඟාවීමට මෙම සේවාවට හැකිවීම සත්‍ය වශයෙන්ම ජයග්‍රහණයකි. මෙම ගිලන් රථ තුළ මේ වනවිට දරු උපත් 34 ක් සිදුවී තිබෙන අතර දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ගිලන් රථ 88 ක්ද, උතුරු පළාතේ ගිලන් රථ 20 ක්ද, ඌව පළාතේ ගිලන් රථ 26 ක්ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇත. දිවයින පුරාම මෙම සේවාව ව්‍යාප්ත කිරීම මේ වනවිට සිදුවෙමින් තිබේ. අපට චෝදනා කරන කෙනෙකුට වුවද අනාගතයේදී “සුවසැරිය“ අවශ්‍ය වන්නට පුළුවන. කවුරුන් බලයේ සිටියද ජීවිත බේරාගැනීමේ මෙම මෙහෙයුම අඛණ්ඩවම ඉදිරියට ගෙන යා යුතුයැයි මා තරයේ විශ්වාස කරමි. මේ නිසා, මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මෙරට සාමාන්‍ය ජනතාවගේ දුකේදී පිහිට වීමට දිවා රෑ සූදානමින් සිටින මෙම සේවාව ඈඳා ගනිමින් බොරු අවලාද නැගීමේ පාප කර්මයට සම්බන්ධ නොවන ලෙසයි.

ස්තූතියි,

ආචාර්ය හර්ෂ ද සිල්වා,
1990 “සුවසැරිය“ ගිලන් රථ සේවයේ නිර්මාතෘ,
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.

81 views
Main News