නොරොච්චෝල හිතා මතා අක‍්‍රිය කරලා..?? විදුලි ඇමති වහා ඉල්ලා අස්වෙනු..

October 16, 2016 at 4:40 pm | lanka C news
නොරොච්චෝල හිතා මතා අක‍්‍රිය කරලා..?? විදුලි ඇමති වහා ඉල්ලා අස්වෙනු..

නොරොච්චෝල තාප විදුලි බලාගාරය අක්‍රියවීමක්දැයි සැක සහිත බැවින් ඇමතිවරයා එහි වගකීම භාරගෙන වහා ඉල්ල අස්විය යුතු යයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

නොරොච්චෝලෙ බලාගාරය අක්‍රියවීමක්ද? අක්‍රියකිරීමක්ද? ඇමතිවරයා වගකීම භාරගෙන වහා ඉල්ලා අස්වන්න.

මේ මාසයේ සිට විදුලි ගාස්තු ඉහල දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් උත්සහාය ව්‍යවර්ථ වුණි. එහෙත් මේ වන විට නැවතත් රට විදුලි අර්බුදයකට ගමන් කරමින් ඇති බව පැහැදිලි ය. මේ දිනවල විදුලිබල සැපයුමෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් සපයන්නේ නොරොච්චොලේ බලාගාරයයි. ඒ බලාගාරය නොසිතූ පරිදි නැවතත් අක්‍රිය වුණි. ඊට හේතුවශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වාදුන්නේ අනුරාධපුර සම්ප්‍රේශණ මාර්ගයේ දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලෙ බලාගාරය ස්වයංක්‍රීයව අක්‍රිය වු බවයි. කුමන හේතු දැක්වුවද මෙහි අනිටු ප්‍රතිවිපාක වලට වගකීමට සිදුවන්නෙ මෙරට පාරිභෝගිකයාටය. එක් අතකින් බලාගාරය අක්‍රියවීම නිසා විදුලිබල කප්පාදුවක් සිදුවිය හැකිය. අනෙක් අතින් ඩීසල් ඇතුළු අනෙකුත් තාප බලාගාර වලින් විදුලිය සැපයීමට සිදුවීම නිසා ඉහල යන විදුලි වියදමට කරගසන්නට සිදුවන්නෙමෙරටපාරිභෝගිකයාටය.
මේ වසරේ මුල් කාර්තුවේදී ද නොරොච්චෝලේ  බලාගාරය අක්‍රිය වුණි. රටම අදුරට වැටුණු අතර පසුව දින ගණනාවක් වරින් වර විදුලිය කප්පාදු කෙරිණි. දෝෂය ඇත්තෙ නොරොච්චොලේ බලාගාරයේ බව කියුවද අවසානයේ ඔප්පු වුයේ සම්ප්‍රේශණ මාර්ග හා ට්‍රාන්ස්ෆෝමර්ස් නිසි පරිදි නඩත්තු නොකිරීම එම විදුලි බිදවැටීමේ සත්‍ය හේතුව බවයි. එහෙත් මේ නඩත්තු අතපසු කළ නිළධාරින්ට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවත්වු වගක් මේ දක්වාම අසන්නට නොලැබිණි. ඒ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය කල එකම ක්‍රියාව වුයේ විදුලිබල ධාරිතාවය ප්‍රමාණවත් නොවන බව කියමින් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට පිඹුරුපත් සැකසීමයි.

මෙවර තත්වය එදාය වඩා දරුණුය. මේ වසර මුලදී සැබෑවටම විදුලි ධාරිතාවයේ ගැටළුවක් නොතිබිණි. ඒ නිසා සති කිහිපයකින් විදුලි සැපයුම යථා තත්වයට පත් විය. මේ දිනවල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතාමත් පහළ මට්ටමක පවතී. එවැනි තත්වයකදී නොරොච්චෝලෙ බලාගාරය සති කිහිපයක් අක්‍රිය වුවහොත් ජල බලාගාර වලින් සම්පුර්ණ අවශ්‍යතාව සදහා විදුලිය සපයන්නට සිදු වේ. එය කල හැක්කේ දින කිහිපයක් පමණි. ඉන් අනතුරුව අඛණ්ඩ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වේ. එයට මුවා වී පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඩීසල් මාෆියාවට අවස්ථාව උදා වනු ඇත.

ජලාශ වල ජල මට්ටම් පහත තත්වයක තිබියදී නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම පිටුපස කුමන්ත්‍රණයක් නැතැයි කිව නොහැක. ඉතා තීරණාත්මක අවශ්ථාවලදී මේ ආකාරයට නොරොච්චෝලේ බලාගාරය කිහිපවරක්ම අක්‍රිය වී ඇත. නැතහොත් අක්‍රිය කර ඇත. මේවා පිටුපස සිටින අදෘශ්‍යමාන හස්තය කුමක්ද? ලංකා විදුලිබල මණ්ඩලය මීට වගකිව යුතු නොවේද? ඒ සදහා විනය පරීක්ෂණ සිදු කළ යුතු නොවේද? ලංකා විදුලිබල මණ්ඩලය පාලනය කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේවාට උත්තර  බැදිය යුතුය. එසේම විදුලිබල අමාත්‍යවරයාද මේවාට වගකිව යුතුය. එසේ නොවුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවයට වන්දි ගෙවීමට සිදුවන්නේ මෙරට සමස්ත පාරිභෝගිකයාටය.

ස්තුතියි,මෙයට
රංජිත් විතානගේ
සභාපති

29 views
Main News