පකිස්තානය රිදවීම…

October 7, 2016 at 4:49 pm | lanka C news
පකිස්තානය රිදවීම…

මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ නොවැම්බර් 10 සහ 11 දින වල දී පකිස්තානයේ දී ය.  නමුත් සමුළුවට කණ කොකා හැඬුවේ ඉන්දියාව සහ පකිස්තානය අතර යුද ගැටුමක අවදානමක් මතු වීමෙනි.

ඉන්දියානු කාශ්මීරයේ ඌරි නගරයේ ඇති ඉන්දියානු හමුදා කඳවුරකට සැප්තැම්බර් 18 දින හදිසි ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල විය.  පැමිණියේ ත්‍රස්තවාදින් සතරදෙනෙකු පමණක් වුවත් ඔව්හු ඉන්දියානු සෙබළුන් 19 දෙනෙකුගේ ජීවිත බිලි ගැනීමට සමත් වූහ.  මෙකී ත්‍රස්තවාදින් පැමිණියේ පකිස්තානයේ සිට බවට චෝදනා කළ ඉන්දියාව සැප්තැම්බර් 29 දින පකිස්තානයට හදිසි ප්‍රහාරයක් එල්ල කරන ලදී.  ඉන්දියාව පවසන්නේ හොඳින් තහවුරු කර ගත් ත්‍රස්තවාදි ඉලක්කයන්ට ඔවුන් ප්‍රහාර එල්ල කළ බවයි.  නමුත් පකිස්තානය පවසන්නේ තම හමුදා කඳවුරු වලට ඉන්දියාව ප්‍රහාර එල්ල කළ බවයි.

ත්‍රස්තවාදින් සොයා විදේශිකයින් පකිස්තාන භූමිය ආක්‍රමණය කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2011 මැයි2 වන දින ඇමෙරිකානු හමුදාව පකිස්තානය ආක්‍රමණය කලේ අල් කයිදා ත්‍රස්තවාදි නායක බින් ලාඩන් මරා දැමීමටයි.  මෙවර ත්‍රස්තවාදින් සොයා ඉන්දියාව පැමිණියත් මරා දැමුවේ ත්‍රස්තවාදින් ද නැතහොත් පකිස්තානු සෙබළුන් ද යන්න විවාදිත කරුණකි.  මෙම ආක්‍රමණය සම කළ හැක්කේ 1980 දශකයේ දී කොටි ත්‍රස්තවාදින්ගේ කඳවුරු ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවතීම හේතු කර ගෙන ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කලේ නම් එයටයි.  නමුත් ලංකාව මේ පිලිබඳ ඉන්දියාවට විරෝධය පල කළා මිස ඉන්දියාව ආක්‍රමණය කිරීමට සැලසුම් නොකලේය.

ඉන්දියාව විසින් පකිස්තානය ආක්‍රමණය කිරීමෙන් නොනැවති පකිස්තානයේ පැවැත්වෙන සාක් සමුළුව වර්ජනය කිරීමට ද තීරණය කරන ලදී.  ඉන් පසු ඉන්දියාවේ බලපෑම මත භූතානය සහ බංගලි දේශය දසාර්ක් සමුළුව වර්ජනය කරන ලදී.  ඉන්දියාවේ මී ලඟ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවයි.  ඒ අනුව සැප්තැම්බර් 30 වන දා නියමිත අයුරින් සාර්ක් සමුළුව පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බවට විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන ලදී.  ආණ්ඩුවේ නොනිල ආරංචි මාර්ග පවසන්නේ ඉන්දියානු බලපෑම මත මෙම නිවේදනය නිකුත් කරන මෙන් විදේශ ඇමතිවරයා නිලධාරින්ට බල කළත් ඔවුන් එකඟ නොවුණු බවයි.  රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්මෙම නිවේදනය ගෙන එන ව්‍යසනය පිලිබඳ නිලධාරින් ඇමතිවරයාට පෙන්වා දී ඇත.  නමුත් අවසානයේ දී අගමැති විසින් නවසීලන්තයේ සිට ලබා දුන් උපදෙස් මත රාජ්‍ය තාන්ත්‍රිකව සිය දිවි නසා ගැනීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇත.

සාර්ක් ප්‍රඥාප්තිය අනුව එක් රටක් හෝ සාර්ක් සමුළුව වර්ජනය කරත් නම් සමුළුව පැවැත්විය නොහැක.  ඒ අනුව ඉන්දියාව විසින් සාර්ක් සමුළුව වර්ජනය කිරීමට තීරණය කිරීමත් සමග සමුළුව පැවැත්වීම ද නතර විණි.  ඉන් පසු බංගලිදේශය සහ භූතානය ද සමුළුව වර්ජනය කරන බව පැවසීමෙන් සමුළුව නොපැවැත්වීම තව දුරටත් තහවුරු විය.  ඒ අනුව සමුළුව කල් දමන බවට නිවේදනයක් නිකුත් කිරිමට පකිස්තානය තීරණය කලේය.  ශ්‍රී ලංකාව ඉහත නිවේදනය නිකුත් කලේ පකිස්තානය නිවේදනයක් නිකුත් කරන බව හොඳින්ම දනිමිනි.  ඊට පැය කිහිපයකට පසු පකිස්තානය විසින් සමුළුව කල් දමන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදී.  ඉන්දියාව සතුටු කිරීමට යෑමෙන් ශ්‍රී ලංකාව විසින් රිද වූ පකිස්තානය කවුදැයි අපි දැන් හඳුනා ගනිමු.

1991 දී ඉන්දියාව ලංකාවට සිදු කලේ මෙවර පකිස්තානයට සිදු කල දේය.  එම වසරේ  ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණු සාර්ක් සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ඉන්දියාව වර්ජනය කරන ලදී.  එයින් අසරණ වුණු ලංකාවේ ගරුත්වය රැක දීමේ අරමුණෙන් පකිස්තාන අගමැති කලින් යොදා ගත් පරිදි ලංකාවට පැමිණසිය සහයෝගය ප්‍රකාශ කලේය.  එදා ඉන්දියාව අපට පහර දෙන විට ලංකාව ආරක්ෂා කල පකිස්තානයට අද ඉන්දියාව පහර දෙන විට අප සිදු කලේ සතුරාට එක් වී මිතුරාට පහර දීමයි.  මෙවැනි ගුණ මකු කමක් මෑත ඉතිහාසයේ තවත් ඇත්ද?

පසුගිය 37 වසරක යුද ශාපයට ලංකාව ගොදුරු වුණේ ඉන්දියාව හේතුවෙනි.  ත්‍රස්තවාදින් පුහුණු කර අවි ආයුද ලබා දී ඔවුන් ලංකාවට එවන ලද්දේ ඉන්දියාවයි.  ජාත්‍යන්තර තලයේ දී කොටි ත්‍රස්තවාදින් රැක ගත්තේ ඉන්දියාවයි.  ඉන්දියාව එසේ කොටි ත්‍රස්තවාදය පෝෂණය කරන විට පකිස්තානය ඉතිහාසය පුරාම ත්‍රස්තවාදය මර්දනය කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදී.  එයින් වියරු වැටුණු ත්‍රස්තවාදිහු පකිස්තාන තානාපතිවරයා ඝාතනය කිරීමට ද වෙර දැරූහ.

පකිස්තානයේ යුද සහයෝගය හුදෙක් අවි ආයුද සහ යටිතල පහසුකම් සැපයීමට සීමා නොවීය. පකිස්තානය සතු බුද්ධි තොරතුරු නිර්ලෝභිව ලංකාව සමග බෙදා ගත්තේය.  එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයන්හි යෝජනා ගෙන එන විට පකිස්තානය අඛණ්ඩව නොවෙනස්ව ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය.  බටහිර රටවල් යුද අපරාධ පිලිබඳ සහසික චෝදනා ලංකාවට එරෙහිව නගමින් ලංකාව ම්ලේච්ඡ දේශයක් ලෙස පෙන්නුම් කරන විට ලංකාව වෙනුවෙන් අභීතව පෙනී සිටියේ පකිස්තානයයි.  2009 දී හැර අනෙකුත් සෑම අවස්ථාවක දී ම ඉන්දියාව සිටියේ ලංකාවට සතුරු පිලේය.  ලංකාව අදසිය සතුරා සමග එක් වී සිය මිතුරාට පහර දීම පකිස්තානයේ දෛවයේ සරදමක් විය හැක.

1971 දී ජවිපෙ සන්නද්ධ අරගලයක් දියත් කළ විට ලංකාණ්ඩුව බියෙන් තැති ගන්නා ලදී.  ඊට හේතු වූයේ ලංකාව සතු වූයේ සරල අවි පමණක් තිබෙන සංදර්ශනාත්මක යුද හමුදාවක් වීමයි. ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිම සන්නද්ධ අරගලයක අත්දැකීමක් නොතිබුණි. ජවිපෙට විවිධ සමාජවාදි රටවලින් යුද ආධාර ලැබෙන බවට තොරතුරු ලැබී තිබිණි.  එබැවින් අගමැතිනිය විසින් සන්නද්ධ අරගලය මැඩීමට මිත්‍ර රටවලින් සහය ඉල්ලා සිටින ලදී.  එවිට ලංකාවේ සහයට මුලින්ම පැමිණියේ පකිස්තානයයි.  පකිස්තානු ගුවන් යානා ලංකාවට පැමිණියේ පකිස්තානු සෙබළුන් මෙන්ම ආයුද ද රැගෙනය.

ඉන්දියාව නිරතුරුව ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගසන්නේ ලංකාවේ සිටින දමිළ ජනතාව ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින බව පෙන්වමිනි.  එසේ නම් පකිස්තානයේ බහුතර ජනතාව වන මුස්ලිම්වරු ලංකාවේ සුළු ජන වර්ගයකි.  නමුත් පකිස්තානය කිසිම අවස්ථාවක ලංකාවේ මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී නොසිටියේය.  පකිස්තාන තානාපතිවරුන් ලංකාවේ දී පකිස්තාන ජනතාව නියෝජනය කළා මිස කිසිම දිනක ලංකාවේ ජන කොටසක නියෝජිතයා වීමට වෙර නොදැරීය.

වත්මන් ආණ්ඩුව පසුගිය මාස විස්ස තුල යුද ජයග්‍රහණයට බල පෑ සාධක සියල්ලම විනාශ කරමින් සිටියි.  කොටි ත්‍රස්තවාදින් නිදහස් කරන අතරේ රණවිරුවන් අත්අඩංගුවට ගනිමින් දඬුවම් නියම කරමින් දරුවන් යුද බිමට යැවීමට දෙමව්පියන් අධෛර්යමත් කලේය.  ආරක්ෂක ලේකම්, හිටපු නාවික හමුදාපතිවරු සහ යුද හමුදාපතිවරු පොලීසි සහ උසාවි ගෙන යමින් යුද්ධයට නායකත්වය ලබා දීමේ උනන්දුව විනාශ කර ඇත.  අවසානයේ දී යුද්ධයට සහය දුන් චීනය සහ පකිස්තානය රිදවා ජාත්‍යන්තරව සහය දුන් මිතුරන් අහිමි කර ඇත.  (චීන ජනාධිපති මුල් ගල තැබූ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඒක පාර්ශවීයව නවතා චීනය රිද වූ අයුරු මීට පෙර විස්තර කර ඇත).

මේ අතරේ උතුරේ යලිත් දෙමළ අන්තවාදි බෙදුම්වාදි අදහස් වැපිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වෙමින් පවතියි.  මෙහි ප්‍රතිඵලයක් ලෙස යලිත් බෙදුම්වාදි ත්‍රස්තවාදයක් ඇති වුණොත් යුද බිමට යෑමට සෙබළුන් නැත.  නායකත්වය දීමට හමුදාපතිවරු නැත.  ජාත්‍යන්තර වේදිකාවේ අපේ සටන රකින්නට විදේශීය මිතුරන් නැත.  එබැවින් බෙදුම්වාදි යුද්ධයක් යලි ඇරඹුනොත් වසරක් ඇතුලත දෙමළ ඊලම බිහි වීම නැවැත්වීමට කිසිවෙකු සමත් නොවනු ඇත.

– උදය ගම්මන්පිල

30 views

One Comment to “පකිස්තානය රිදවීම…”

  1. Ajith says:

    We know CIA and RAW handlers in Sri lanka.

    It is same as Ghost Writer film by Roman Ploski. That film should be dubbed into Sinhala and show in Sri lanka

Main News