පන්සල් මිදුලේ බලෙන් බැකෝවකින් අලූත් නිවසක් ගෙනැවිත් තබයි.. ගම්මු කැළඹේ..
March 18, 2017 at 12:00 pm | lanka C news
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ශ්රී බෝධි ඤාණවර්ධනාරාමයට ඊයේ (17 දා) උදැසන භික්ෂූන් වහන්සේ කිහිප නමක් හා ගිහි පිරිසක් පැමිණ නව නිවසක් ගෙනැවිත් එහි තබා බලහත්කාරයෙන් පදිංචි වූ බවට එම විහාරස්ථානයේ දායකයන් විසින් අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇත.
මේ පිළිබඳව එම විහාරස්ථානයේ දායකයකු වන ක්රිශාන්ත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“අපේ ලොකු හාමුදුරුවෝ කොළඹ ගිහින්. අද උදේ නිමකරන ලද නිවසක් ලොරියක පටවාගෙන පැමිණි පිරිසක් බැකෝ යන්ත්රයක් මඟින් එම නිවස අපේ විහාරස්ථානයේ ඉදිරිපස තැබුවා. අපේ පන්සලේ ඉදිරිපස දොර අවහිර වන පරිදි මේක සවි කරලා මේ ඉඩමේ කොටසක් ඒ අයට අයිතියි, කියලා තමා මේ බලෙන් මෙතැන ගෙයක් සවිකරල තියෙන්නේ. මේ ඉඩමේ මේ පන්සල වසර 20 කට වැඩි කාලයක් තිස්සේ තියෙනවා. භික්ෂුන් වහන්සේලා නේවාසිකව වැඩ ඉන්නවා. දායක සභාවක් තියෙනවා. මේ අයගේ ඉඩම් කොටස අවුරුදු 25 ක්ම සංවර්ධනය නොකළ නිසා දැන් අවලංගු වෙලා තියෙන්නේ. මීට පෙර මේ පිළිබඳව අපි ප්රාදේශීය ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා. අද මේ අය බලෙන් මෙහි පදිංචිවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළා” යෑයි පැවසීය.
මෙම විහාරස්ථානයට අලුතින් පැමිණ නේවාසිකව වැඩසිටින භික්ෂුන් වහන්සේ වන අරුගොඩ මහින්ද හිමියෝ මෙසේ පැවසූහ. මෙම ඉඩම පාර්ලිමේන්තු ගැසට් එකක් මඟින් අපට හිමිවී තිබෙන ඉඩමක්. මෙහි පර්චස් 164 ක් අපට අයිතියි. ඒත් වෙනත් අය මේක බලෙන් අල්ලාගෙන දැන් තියෙන්නේ පර්චස් 64 ක් විතරයි. අපට අයිති නිසා අපි අද පිරිත් කියලා මේ දායකයෝත් එක්ක ඇවිත් මෙහි පදිංචි වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ ඊයේ 17 දා පරීක්ෂණ ආරම්භ කරන ලදී.
– දිවයින