පරිසරය වනසන රටට විදේශ විනිමය අහිමි කරන ටෙලිකොම් ටෙන්ඩරය…

June 4, 2017 at 8:40 am | lanka C news
පරිසරය වනසන රටට විදේශ විනිමය අහිමි කරන ටෙලිකොම් ටෙන්ඩරය…

ටෙලිකොම් සමාගම සතු අබලි කේබල් තොගයක් විකිණීම සදහා 2017 මැයි මස 16 වන දින අංක L/0178/2017 යටතේ ටෙන්ඩර්පත් කැදවන ලදී. මෙම කේබල් තොගය විකිණීම සිදුකරනු ලබන්නේ තඔ ලබා ගැනීමට වන අතර අදාල කේබල් ගිනි තබා උණු කර එම කේබල්වල අඩංගු පයිබර් කොටස විනාශකර තඔ ලබා ගැනීමට කටයුතු කරන අතර එසේ කිරීම තුළින් පරිසරයට විශාල හානියක් සිදුවනු ලබයි.ලෝකයේ වෙනත් රටවල මෙම ක්‍රියාවලිය සිදු කරනුයේ අවශ්‍ය උපකරණ ඇති කර්මාන්ත ශාලාවක් මගින් වන අතර ඒ සදහා පරිසර හිතකාමී නිසි ක්‍රම‍වේදයක් අනුගමනය කරනු ලබයි.

ටෙලිකොම් සමාගම විසින් මෙම ටෙන්ඩර්පත් නිකුත් කිරීමේදී පනවා ඇති කොන්දේසි අනුව මෙසේ ලබා ගන්නා තඔ දේශීයව විකිණීම තහනම් වන අතර තඔ අපනයනය කිරීමද තහනම් බවය. එසේනම් පරිසරයට විශාල හානියක් සිදු කරමින් මෙසේ තඔ ලබා ගැනීමට කටයුතු කරන්නේ කුමකටද යන්න විශාල ගැටලුවකි.

මීට ඉහත 2015 අප්‍රේල් මස 21 වන දින ද අංක L/0221/2015 යටතේ අබලි කේබල් සදහා ටෙන්ඩර්පත් කැදවන ලද අතර එම අබලි කේබල් තොගය තඔ කර්මාන්ත ශාලාවක් නොමැති සභාපතිවරයාට හිතවත් සමාගම් තුනකට ලබා දීමට ටෙන්ඩර් මංඩලය කටයුතු කර ඇත. එම සමාගම් විසින් එම කේබල් තොගය පරිසරයට හානිදායක ලෙස ගිනි තබා තඔ ලබාගෙන ඇති අතර අප රටට විශාල විදේශ විනිමයක් අහිමි කරමින් එම තඔ තොගය ඉතාම සූක්ෂම ආකාරයට අපනයනය කර ඇත. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහි සියලු තොරතුරුද අප සංවිධානය සතුව ඇත. එම ටෙන්ඩර් මගඩියට සම්බන්ධ සියලුම නිළධාරීන් ඉදිරියේ හෙළි කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටී.

මෙවර ටෙන්ඩරය පිරිනමන්නේ සුදුසුකම් සහිත සමාගමකටද යන්න පිළිබදව අප සංවිධානය අවධානයෙන් සිටින අතර නිසි සුදුසුකම් නොමැති සමාගමකට ටෙන්ඩරය පිරිනමා පරිසරයට හානිවන අකාරයෙන් කටයුතු කරන්නේ නම් මෙරට පරිසර සංවිධාන සමග අධිකරණය වෙත යාමට අප සුදානමින් සිටින බවද කිවයුතුය.

ජනතාව ඉතාම දුෂ්කරව ජීවත්වන මෙම අවස්ථාවේ උද්ධමන අගය ඉහළ ගොස් ඇති නිසා විදේශ විනිමය රටට ඉතා වැදගත්ය. මෙරට ව්‍යාපාරිකයින් තුන්හතර දෙනෙකුට අප රටේ සම්පත් කොල්ල කෑමට කිසි සේත්ම ඉඩ දිය නොහැකි නිසා අප නිරන්තරයෙන්ම මේ පිළිබදව අවධියෙන් සිටිමු.
මෙයට,විශ්වාසී

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

47 views
Main News