පලස්තීන නිරායුද වැසියන් සමූහ ඝාතනය ත‍්‍රස්තවාදයට එරෙහි පියවරක්.. කොටි පැරදවීම යුද අපරාධයක්…

May 18, 2018 at 8:02 am | lanka C news
පලස්තීන නිරායුද වැසියන් සමූහ ඝාතනය ත‍්‍රස්තවාදයට එරෙහි පියවරක්.. කොටි පැරදවීම  යුද අපරාධයක්…

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාව සමග එක්ව ඊශ‍්‍රායලය සිදු කළ යුද අපරාධය දැඩි සේ හෙළා දකිනවා

ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ එකගතාව යටතේ ඊශ‍්‍රායලය විසින් පලස්තීනයේ නිරායුද ජතාවට එරෙහිව සිදු කොට ඇති ‘සමූහ ඝාතනය’ යන යුද අපරාධය දැඩි සේ හෙළා දකින්නෙමු. මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ‍්‍රායලයට අනුව මෙම පලස්තීන නිරායුද ජනතාව ‘හමාස් ත‍්‍රස්තවාදීන් ය’.

ඒ අනුව මෙම සමූහ ඝාතනයේ දී ලොවම කම්පා කරවමින් මියගිය ලීලා අන්වර් නමැති මාස 08ක් වයසැති දැරිය ද ‘හමාස් ත‍්‍රස්තවාදියෙකි’. නිරායුද පලස්තීන ජනතාව ත‍්‍රස්තවාදීන් සේ සලකා සිදු කළ මෙම සමූහ ඝාතනයෙන් ඉහත කී දැරිය ඇතුළු 59ක් මියගොස් තවත් 2700කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

පලස්තීන ජනතාවට ගාසා තීරයේ විරෝධතාවක නිරත වීමට සිදුව තිබුණේ එතෙක් ටෙල් අවිව් නගරයේ පිහිටි ඊශ‍්‍රායල ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, ගැටුම් බහුල ගාසා තීරයට සමීප ජෙරුසලම නගරය වෙත රැගෙන ඒම නිසා ය. එසේම මෙම ඓතිහාසික නගරය ද යුදෙව්, ක‍්‍රිස්තියානි හා මුස්ලිම් ජනතාව සමසේ අයිතිවාසිකම් කියන්නකි. ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය සාමය ඇති කිරීම වෙනුවෙන් මෙම ස්ථාන මාරුව සිදු කළ බව පැවසුවත්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් මහතා කල් තියා පෙන්වා දී තිබුණේ ‘මෙම ක‍්‍රියාව සාමය ඇති කරන්නක් නොව වැනසීම ඇති කරන්නක්’ බව ය. ගැටුම් බහුල ප‍්‍රදේශයකට සිය තානාපති කාර්යාලය රැගෙන යාමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සැරසෙන්නේ ගැටුම් නිරාකරණයට නොව ගැටුම් ඇවිලවීමට බව කුඩා දරුවකුට වුව තේරුම් ගත හැක.

මේ අතර ඊශ‍්‍රායල් හමුදා නිරායුද පලස්තීන ජනතාව සමූහ ඝාතනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බවට නිවේදනයක් නිකුත් කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් අතහැර දමා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂේධ බලය හමුවේ ය. මෙහිදී තම දියණිය සහ බෑණා යවා ජෙරුසලමෙහි තානාපති කාර්යාලය විවෘත කර වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, හමාස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට ඊශ‍්‍රායලයට පූර්ණ අයිතියක් ඇති බව ය.

දැන් ඇමෙරිකාවට අනුව, ඊශ‍්‍රායලයේ හමුදා පලස්තීන නිරායුද වැසියන් සමූහ ඝාතනය කිරීම යුද අපරාධයක් නොවේ. ත‍්‍රස්තවාදය පැරදවීමට ගත් පියවරකි. එහෙත් ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදී සංවිධානයක් වූ කොටි සංවිධානයට එරෙහිව මානුෂික මෙහෙයුමක නිරත වූ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා ඇමෙරිකාවට අනුව සිදු කොට ඇත්තේ යුද අපරාධයකි. මෙය ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත ද ව්‍යාජ ත‍්‍රස්ත විරෝධයේ නිරුවත ද ලොව හමුවේ පෙන්වා දුන් තවත් අවස්ථාවකි.

මෙම ම්ලේච්ඡ ක‍්‍රියාව ලොව වෙසෙන සියලූ ශිෂ්ට සම්පන්න ජාතීන් දැඩි සේ පිළිකෙව් කළ යුතු අතර ඊට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන් ඇතුළු ජගත් සංවිධානවලට බලපෑම් කිරීමට පෙරට ආ යුතුව ඇත.

විමල් වීරවංශ
නායක
ජාතික නිදහස් පෙරමුණ

31 views

One Comment to “පලස්තීන නිරායුද වැසියන් සමූහ ඝාතනය ත‍්‍රස්තවාදයට එරෙහි පියවරක්.. කොටි පැරදවීම යුද අපරාධයක්…”

  1. kith says:

    We must join with Palestinians to protest against USA and UK for genocide in Jerusalem.

Main News