පලාත් සභාවකට අමාත්‍යවරුන් 05 ක් පමණයි.. නමුත් උතුරට පමණක් අමාත්‍යවරු 06ක්…

August 14, 2018 at 12:40 pm | lanka C news
පලාත් සභාවකට අමාත්‍යවරුන් 05 ක් පමණයි.. නමුත් උතුරට පමණක් අමාත්‍යවරු 06ක්…

උතුරු පළාත් සභාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සංයුතිය මුලූමනින්ම දැන් වෙනස් වී තිබෙ බවත් හිටපු අමාත්‍ය බී. ඩැනිෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් වෙනුවෙන් ලබා දී ඇති අභියාචනාධිකරණ තීන්දුව අනුව ඩැනිෂ්වරන් මහතාගේ අමාත්‍යධූරය සක‍්‍රීය කරන ලෙස ලබා දී ඇති අධිකරණ නියෝගය සමගින් අද වන විට උතුරු පළාත් සභාවට අමාත්‍යවරු 6 දෙනෙකු සිටින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා යාපනයේදී පැවසීය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා එසේ පැවසුවේ යාපනය උසස් තාක්‍ෂණ ආයතනය නිරීක්‍ෂණය කළ අවස්ථාවේදීය.

එහිදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ,

“අද වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට රැස් වී පළාත් සභාවේ පරිපාලනයට අදාල නීති රීති ප‍්‍රතිපත්ති සැකසීමට පුළුවන් කමක් නැහැ. එයට හේතු වී තිබෙන්නේ අභියාචනාව මගින් ලබා දී ඇති අතුරු නියෝගය අනුව ඩැනිෂ්වරන් මහතාට සිය අමාත්‍යාංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසන ලෙස දුන් නියෝගය ක‍්‍රියාත්මක කිරීමයි.  මේ සඳහා ගත යුතු හොඳම සහ පැහැදිලිම විසඳුම පළාත් සභාවේ සියලූම අමාත්‍යවරු ඉල්ලා අස්වී නව අමාත්‍යවරු මා වෙත නම් කර දිවුරුම් දීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව  ඕනෑම පළාතක ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තමයි අමාත්‍යවරු නම් කළ යුත්තේත්, පත් කළ යුත්තේත්. කිසිම අමාත්‍යවරයෙකු පත් කිරීම හෝ ඉවත් කිරීම සඳහා මා වෙත ප‍්‍රතිපාදන නැහැ. ඒ අනුව ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා මෙම ගැටලූවට විසඳුම් කඩිනමින් මා වෙත ඉදිරිපත් කළ යුතුයි.”

“යාපනය, අධ්‍යාපනයට ඉහල ප‍්‍රතිඵල පෙන්වූ දිස්ත‍්‍රික්කයක් ලෙස අතීතයේදී අප අසා තිබුණා. ලංකාව පුරා තිබෙන රෝහල් වල වැඩි වශයෙන් සේවය කරන්නේ යාපනයේ අධ්‍යාපනය ලත් ද්‍රවිඩ වෛද්‍යවරු. ප‍්‍රධාන ආයතනයක් ගත්තත් බොහෝමයක් අංශ ප‍්‍රධානීන් යාපනයේ පුරවැසියන්. යාපනයේ ඉගෙන ගෙන විදේශ රටවල හෝ යාපනයෙන් බැහැරව සේවය කරන එම ද්‍රවිඩ නිලධාරීන් යාපනයේ රැඳී නොසිටින්නේ මන්ද යන කාරණය මා නිරන්තරවම සිතා බලන කරුණක්. මෙම උසස් තාක්‍ෂණ ආයතනයේ, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, බදුල්ල වැනි ප‍්‍රදේශ වල සිංහල දෙමළ, මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලැබීම සතුටට කරුණක්. එය සහජීවනයට හොඳ මාවතක්. ඔවුන් මෙම ආයතනයට ආසන්නව තිබෙන ද්‍රවිඩ නිවාස වල නේවාසිකව සිට මෙම ආයතනයට අධ්‍යාපනය ලැබීමට පැමිණීමද අගය කළ යුතුයි. එයින් අපි අතර තිබෙන විරසකභාවය අවසන් විමට හොඳ මඟ පෙන්වීමක් වනවා.  මම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලන්නේ අධ්‍යාපනය තරම් වස්තුවක් අප කාටත් නැති නිසා හොඳින් ඉගෙන ගෙන උපන් බිමට සේවය කරන ලෙසයි. තිස් අවුරුද්දක ශාප ලත් යුද්ධයෙන් පීඩා විඳි අප සියලූ දෙනා එම යුද්ධයට ශාප නොකර රටේ අනාගතය, අපේ අනාගතය දියුණු කර ගෙන එම බිහිසුණු අත්දැකීම් අමතක කර සහජීවනය සහ සහයෝගය මත කටයුතු කරන ලෙසයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ

12 views
Main News