පස් පොඞ්ඩා ශ‍්‍රීලනිප සංවිධායක සමග හුරතල් වෙයි.. පොලිසියත් නොතකා යන්න යයි..

February 13, 2017 at 5:30 pm | lanka C news
පස් පොඞ්ඩා ශ‍්‍රීලනිප සංවිධායක සමග හුරතල් වෙයි.. පොලිසියත් නොතකා යන්න යයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාරට පස් පොඩ්ඩා නමැති පාතාල සාමාජිකයා විසින් මරණ තර්ජනය කිරීම පොදුජන මාධ්‍ය පෙරමුණ විසින් හෙලා දකියි.

මේ බව සදහන් කරමින් එම පෙරමුණ විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතා හට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල අපරාධකරුවකු වන නැදගමුවේ රෝහිත හෙවත් පස් පොඩ්ඩා නමැත්තා මරණ තර්ජනය කිරීම පොදුජන මාධ්‍ය පෙරමුණ දැඩි ‍පිළිකුලෙන් යුක්තව හෙළා දකී.

ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ නිරීක්ෂණය කරන අවස්ථාව වීඩියෝ ගත කරමින් සිටියදී එහි පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනුවන්ගොඩ ආසන සංවිධායක රුවන් රණතුංග මහතා සමඟ සිටි පස් පොඩ්ඩා නමැති පාතාල අපරාධකරුවා මාධ්‍ය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කරමින් මෙසේ මරණ තර්ජන සිදු කර තිබේ.

රුවන් රණතුංග මහතාගේ සමීපතම හිතවතකු මෙන් ආරක්ෂකයකු ද ‍වන මෙම පාතාල අපරාධකරුවා මිනුවන්ගොඩ පස් කැපීම පසුපස සිටින ප්‍රබල ජාවාරම්කරුවකු වන අතර මිනීමැරුම්, කප්පම් ලබා ගැනීම්, තර්ජනය කිරීම් යනාදී වශයෙන් විවිධ චෝදනා රැසක් යටතේ අධිකරණය හමුවේ විභාග වන නඩු රැසක සැකකරුවකු ද වේ.

මාධ්‍ය ලේකම්වරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වෙත කරනු ලැබූ පැමිණිල්ලට අනුව ඊයේ (12) දිනයේ පස් පොඩ්ඩා නමැත්තා කටඋත්තරයක් ලබා දීමට ගම්පහ පොලීසියට වෙත පැමිණ ඇත්තේ ද රුවන් රණතුංග හිටපු මන්ත්‍රීවරයා සමඟ බවත් ඔහුගේ කටඋත්තරය නිමා වන තුරු හිටපු මන්ත්‍රීවරයා පොලීසිය ඉදිරිපිට රැඳී සිටි බවත් දැනගන්නට ඇත.

වෙනත් නඩුවක් අතරතුර  ඇප මත මුදා හැර සිටින මොහු මාස් පතා පොලිස් පොතේ අත්සන් තැබිය යුතු අපරාධකරුවකු ව සිටියදීත් මරණ තර්ජන කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තර ලබා දී යහතින් ආපසු යාම සැකයට තුඩු දෙන කරුණක් වන වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවන් අපරාධකරුවකු විසින් කරනු ලැබූ තර්ජනය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි වුවත් මාධ්‍ය ලේකම්වරයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම කණගාටුවට කරුණක් වන අතර වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නැයි අප පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේම මෙවන් අපරාධකරුවන් සුරතලුන් ලෙස තබා ගෙන නීතිගරුක පුරවැසියන්ට මරණ තර්ජන කිරීමට යොදා ගන්නා ආසන සංවිධායකවරුන් පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගන්නැයි අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මාධ්‍ය නිදහස පිළිබඳ දහසක් පොරොන්දු දී බලයට පැමිණි වර්තමාන රජය සැබවින්ම එම අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න පසුගිය කාලය තුළ මාධ්‍යවේදීන්ට සිදුකෙරුණු පහරදීම්, තර්ජනය කිරීම් හමුවේ හැසිරුණු උදාසීන ආකාරය දෙස බැලීමේ දී බරපතළ ගැටලුවක් ව පවතින බව පැහැදිලිය.

ප්‍රතිවිරුද්ධ මත දරන්නන් නිල බලයෙන් මෙන්ම පාතාල බලයෙන් ද මර්දනය කිරීම යහපාලන ආණ්ඩුවකට තරම් නොවන බව රාජ්‍ය පාලකයන් සිහිතබා ගත යුතු අතරම නිදහසේ රාජකාරී කටයුතු කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය වහාම තහවුරු කිරීමට පියවර ගත යුතු බවත් අපි අවධාරණය කරන්නෙමු.

පාතාල අපරාධකරුවන්ට හෝ ඔවුන් මෙහෙයවන ආසන සංවිධායකවරුන්ට බියෙන් රාජකාරිය අතනොහැරි ප්‍රදීප් අනුර කුමාර මහතා වෙත අපගේ ගෞරවය පිරිනමන අතර අප සහෝදර මාධ්‍යවේදියකුට සිදු වූ මෙම තර්ජනයට එරෙහිව පෙරට එන්නැයි සෙසු මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි අප අවධානයෙන් සිටින අතර එම පියවර ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට එරෙහිව සියලු මාධ්‍යවේදීන් සහ ප්‍රගතිශීලී බලමුළු එකතුකොට ගෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයකට යාමට පසුබට නොවන බවත් දන්වා සිටිමු.

නලින් කුමාර නිශ්ශංක
මාධ්‍ය ප්‍රකාශක

76 views

One Comment to “පස් පොඞ්ඩා ශ‍්‍රීලනිප සංවිධායක සමග හුරතල් වෙයි.. පොලිසියත් නොතකා යන්න යයි..”

  1. Boo says:

    විමල් වීරවංසට තාමත් ඇප නෑ , මිනී මරලවත්, එහෙම තර්ජනය කරලවත් නෙමෙයි, හැබැයි මිනී මරන්න ප්‍රසිද්ධියේ තර්ජනය කල, මුලිනුත් අපරාධකාරයෙකු ලෙස පිලිගැනී ඇති පස් පොද්ඩාව උසාවියට ඉදිරිපත් කරලත් නෑ , රිමාන්ඩ් කරලත් නෑ .

    මේක යකාගේ නීතියක් අද රටේ තියෙන්නේ, දැන් ඕකම මහින්දගේ කාලේ වුනානං කට්ටිය මොකද කියන්නේ?

Main News