පහර දෙන ඕනෑම අවියකින් පෙරළා පහර දෙන්න අපි සූදානම්.. සාමයනම් සාමය වේවා.. යුද්ධයනම් යුද්ධය වේවා..

August 2, 2017 at 6:25 am | lanka C news
පහර දෙන ඕනෑම අවියකින් පෙරළා පහර දෙන්න අපි සූදානම්.. සාමයනම් සාමය වේවා.. යුද්ධයනම් යුද්ධය වේවා..

පිවිතුරු හෙළ උරුමයේ නායන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ගියවර හිටපු  කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමන්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් මම ඇතුළු විශාල පිරිසක් ජල ප්‍රහාර වලට කදුළු ගෑස්වලට ලක්වෙමින් මීට එරෙහිව උද්ඝෝෂණය කළා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමන් සහ ලලිතසිරි ගුණරුවන් මැතිතුමන් මේ ගිවිසුම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු ගොනු කලා. මේ නඩුවේ තීන්දුව එන තුරු ගිවිසුම අත්සන් කරන්න බෑ කියලා චීනය ආණ්ඩුවට දැනුම් දෙනවා. ඉන් අනතුරුව ඉතාම අභිරහස් ආකාරයට ආණ්ඩුව ගෙනා මුලික විරෝධතාවයක් පිළිගනිමින්  ශ්‍රේෂ්ඨාධිකරණය වාසුදේව මන්ත්‍රීතුමන්ගේ නඩුව විසිකරනවා. ලලිතසිරි ගුණරුවන් මැතිතුමන් ජනවාරි මාසයේ පැවරූ නඩුව මේ දක්වාම විභාගයට ගැනීමක්වත් සිදු කර නැහැ.

පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩලයට මේ ගිවිසුම ඉදිරිපත් වෙනවා. ඇමති මණ්ඩලය මෙය අනුමත කරන්නෙත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත්වන අදහස්වලට යටත්ව කියලයි. පාර්ලිමේන්තුවේ විවාදය සිකුරාදා දින තියෙනවා. සිකුරාදා විවාද කර සෙනසුරාදා මේ ගිවිසුම අත්සන් තබන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ විවාදයේ ඉදිරිපත්වන කරුණු මේ ගිවිසුමට අඩංගුකිරීමට යම් කාලයක් අවශ්‍යයි. එසේ තිබියදිත් අමාත්‍ය මණ්ඩලය දුන් අනුමැතියටත් එරෙහිව ගිහන් තමයි හදිසියේ මේ ගිවිසුම සෙනසුරාදා අත්සන් තබන්නේ. මහජනතාව සමග පාරට බැහැලා නතර කරන්න පුළුවන් විදිහට නෙමෙයි මේ ගිවිසුම අත්සන් තැබීම සිදුවෙලා තියෙන්නේ. අපි අපේ විරෝධය මේ ගැන දැන ගත් දා පටන් අඛන්ඩව විවාද සම්මන්ත්‍රණ මාධ්‍ය හමු පාර්ලිමේන්තු විවාද හරහා දැඩිව දක්වා තිබෙනවා.

දැන් ආණ්ඩුව ඉන්නේ උඹට ඕන දේ උඹ කියපන්. අපිට ඕන දේ අපි කරනවා කියන පදනමේ. අතිගරු ජනපතිතුමන් මහා සංඝරත්නයට පොරොන්දුවක් දුන්නා මහා සංඝරත්නයට ගිවිසුම පෙන්වා අදහස් විමසීමකින් තොරව අත්සන් තබන් නෑ කියලා. වෘත්තීය සමිතිවලටත් එවැනිම පොරොන්දුවක් දුන්නා වෘත්තීය සමිති නායකයන් සමග මේ ගිවිසුමේ කොන්දේසි සාකච්ඡා නොකර අත්සන් තබන්නේ නෑ කියලා.  මහා සංඝරත්නයට බොරු කලා, ඇමතිමණ්ඩලයට බොරු කලා, වෘත්තීය සමිතිවලට බොරුකලා, ජනතාවට බොරුකලා. මේ සියළු දෙනාටම බොරු කරමින් තමයි මේ ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කලේ.

වැඩි පඩි ඉල්ලලා නෙමෙයි වෘත්තීය සමිති පාරට බැස්සේ. නුපන් දරු පරපුර වෙනුවෙන් අපේ මව් බිම සතු වටිනාම ආර්ථික සම්පත බේරා ගැනීමටයි පාරට බැස්සේ. ඒක රැක ගන්න පාරට බැස්ස තෙල් සංස්ථා සේවකයන්ට මැරයන් යොදා පහර දුන්නා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් පෙරලා ප්‍රශ්ණ කරනවා. අපේ ප්‍රජාතන්ත්‍රවාදී හඩ තලා පෙළා ආණ්ඩුව විසින් මර්ධනයය කරනවානම් 87/89 යුගයේ අපේ රටේ තරුණයන් කළා වගේ අපි පාසල් සිසුන්ව සිටි සමයේ අපේ පරම්පරාව කළා වගේ අපට ආයුධ අතට ගන්න කියලද මේ බල කරන්නේ.

ඡන්ද කල් දමමින් ජනතාවගේ සාමකාමී විරෝධය මර්ධනය දියත් කරමින් මේ ආණ්ඩුව කියන්නේ අපි ඡන්දයෙන් කතා කල යුගය අවසන් දැන් උණ්ඩයෙන් කතා කළ යුතු යුගය එළබිලා කියලනම් අපිත් ඕනෑම දේකට සුදානම්. මොකද යකාට බයනම් අපි අමු සොහොනේ ගෙවල් හදන් නෑ. අපි මේ ගැටුම් වලින් උගත් පාඩම තමයි ඒ දවස්වල සොත්ථි උපාලිලා පච්ච සිරාලා තට්ට සෝමෙලා පාවිච්චිකරමින් විපක්ෂයේ විරෝධය මැඩ පැවැත්වු ජයවර්ධන ප්‍රේමදාස යුගයට සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවත් ගමන් කර තිබෙනවා කියන ඒ පාඩම.

අපි කියනවා සාමයනම් සාමය වේවා. යුද්ධයනම් යුද්ධය වේවා. පහර දෙන ඕනෑම අවියකින් පෙරළා පහර දෙන්න අපි සූදානම්. මේ මව්බිමේ එක කෑල්ලක්වත් අඩු නැතිවයි අපේ පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් මේ මව්බිම බේරාගත්තේ. ඒ පරම්පරාවේ සාමාජිකයෙක් විදිහට අපේ මුතුන් මිත්තන් අපිට රැක දුන් මව් බිම එක කැබැල්ලක් වත් අඩු නැතිව ඊළග පරම්පරාවට භාරදීමේ වගකීම අපට තියෙනවා. ඒ නිසා ඕනෑම අවදානමක් අරගෙන මේ මව්බිමේ දේශීය සම්පත් නොරටුන්ට විකිණීමට එරෙහිව කටයුතු කරන්න අපි ලෑස්තියි.

– අරවින්ද අතුකෝරල

16 views

One Comment to “පහර දෙන ඕනෑම අවියකින් පෙරළා පහර දෙන්න අපි සූදානම්.. සාමයනම් සාමය වේවා.. යුද්ධයනම් යුද්ධය වේවා..”

  1. Critic says:

    I agree with Manel.They should do what you’ve ponted out.Mere press briefing is not enough.

Main News