පළවෙනියා අන්තිමයා කර අන්තිමයා පළවෙනියා කරන්න යයි.. පොහොට්ටු ජනවරම කොල්ලකෑමේ කුමන්ත්‍රණයක්..

March 16, 2018 at 10:00 am | lanka C news
පළවෙනියා අන්තිමයා කර අන්තිමයා පළවෙනියා කරන්න යයි.. පොහොට්ටු ජනවරම කොල්ලකෑමේ කුමන්ත්‍රණයක්..

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතිවිශිෂ්ට ජනවරම කොල්ලකෑමේ පහත් පෙළේ කුමන්ත්‍රණයක මෛත්‍රී රනිල් හවුල නිරත වෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කළේය.

පළාත් පාලන ආයතන පිහිටිවීම කල්දමමින් සිටින්නේ පොදුජන පෙරමුණට බලය හිමිවිය යුතු පළාත් පාලන ආයතනවල බලය පැහර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉඩ සැලසෙන තුරු ද යන්න ගැන සාධාරණ සැකයක් මතු ව ඇති බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පළාත් පාලන මැතිවරණය පවත්වා දින හතලිහකට අධික කාලයක් ගතවන තුරුත් පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලැජ්ජාවට පත් විය යුතු බව පැවසූ රණතුංග මහතා මෙවැනි යටිකූට්ටු වැඩ නිසා ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමට ලක්වන බවත් කීවේය.

මැතිවරණයක් නිමා වූ විගස ජයග්‍රාහකයන් හට බලය පිහිටුවීම සඳහා මෙතෙක් ලැබුණු ඉඩකඩ යහපාලන නාමයෙන් බලයට ආ ආණ්ඩුව කොල්ලකා තිබෙන බවත් බලය අතහැරීමේ දේශපාලන පාඩම මහින්ද රාජපක්ෂගෙන් ඉගෙන ගන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් රණතුංග මහතා කීවේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකින්ම ආණ්ඩුවට හිමිවන්නේ පරාජය පමණක් නිසා මෙවැනි තුට්ටු දෙකේ වැඩවලින් පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණට ලැබුණ ජනවරම කොල්ලකෑමට සූදානම් වීම පලකට ඇති දෙයක් නොවන බවත් රණතුංග මහතා ප්‍රකාශ කළේය.

වසර තුනක් තිස්සේ කල්දැමුණු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සිදු වුණේ ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ගිය අරගල නිසා බව පැවසූ රණතුංග මහතා ජනවරමට පිටුපෑමට ආණ්ඩුව සූදානම් වුවහොත් ඊට එරෙහිව ද අරගල කිරීම තමන් සූදානම් බවත් ප්‍රකාශ කළේය.

ජනතා පරමාධිපත්‍ය කොල්ලකෑමට ආණ්ඩුවට හෝ වෙනත් කිසිදු අයකුට ඉඩතැබීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැති බව පැවසූ රණතුංග මහතා එවැනි උත්සාහයක් වේ නම් එය පරාජය කිරීමට ජනතාව ඒකරාශි කරගෙන සටන් වැදීමට සූදානම් බවත් අවධාරණය කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

14 views
Main News