පළාත් සභා ‘පළාත් රාජධානි’ ලෙස නම් කර මහ ඇමතිලා ‘පළාත් යුව රජ’ ලෙස නම් කරන්න යෝජනා කෙරේ..

January 31, 2017 at 4:40 pm | lanka C news
පළාත් සභා ‘පළාත් රාජධානි’ ලෙස නම් කර මහ ඇමතිලා ‘පළාත් යුව රජ’ ලෙස නම් කරන්න යෝජනා කෙරේ..

ශ්‍රී ලංකාවේ බලය බෙදීම සිදු කල යුත්තේ ජනතාව ශක්තිමත් කර අවශ්‍යතා ඉටුකිරීමට මිස දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට හෝ ඔවුන් සතුටු කිරීමට නොවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

මෙරට බලය බෙදීම සහ ජනතා අවශ්‍යතා ඉටුකිරීම පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙරට පළාත් සභා ක්‍රමය වියදම් අධික අකාර්යක්ෂම ක්‍රමයක් බවට පත්වී ඇති බවත්, ජනතාවට සෘජුව පරිපාලනය හා ප්‍රතිපාදන ගෙනයන දිස්තික් සහ ප්‍රාදේශීය ලේකම් ක්‍රම තුලින් ඊට වඩා ජනතාවගේ අවශ්‍යතා සැපිරෙන බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
නිවේදනය මගින් තවදුරත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටි.

අද වනවිට මෙම පළාත්සභා ක්‍රමය තුලින් රට පුරා පළාත් රාජධානි වලට බෙදී පරිපාලනයට මෙන්ම ජාතික සංවර්ධනයට ද බාධාකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩපිළිවෙල, පළාත්සභා අකාර්යක්ෂමතාවය සහ අත්තනෝමතික ක්‍රියාදාමය තුලින් ප්‍රමාද වීමේ හා අසාර්ථක වීමේ අවධානමක් පවතී.

අද අප රට පුරා සුදු අලින් බවට පත්ව ඇති පළාත්සභා ව්‍යුහය තුලින් ජනතා සුභ සාධනය වෙනුවෙන් සිය වගකීම් ඉටු කරනු වෙනුවට මහජන මුදලින් සුඛ වීහරණය ලැබීමටත් බුරුතු පිටින් විදෙස් සාප්පු සවාරි වල නිරත වීමටත් ඇතැම් පළාත් සභා නියෝජිතයන් පෙළඹී තිබෙනවා. පළාත් යුවරජ වරුන්ගේ පාලනයට යටත්ව ඇති පළාත්සභා තුල අකාර්යක්ෂමතාව මුල් බැසගෙන ඇති අතර ඒවා මහජනතාවගේ ප්‍රගමනයට වඩා, පුද්ගලික ප්‍රතිරූප ගොඩ නැගීම මත ක්‍රියාත්මක වන පළාත් රාජධානි ලෙස හැදින්වීම වඩාත් උචිත වේ. පළාත් සභා ව්‍යුහයන් තුල ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය සලකා බැලීමේදී මුළුමනින්ම සමාජය තුල නිර්මාණය කර ඇත්තේ ගැටළුකාරී තත්වයකි. පළාත්සභා පාසල් තුල මතුව ඇති ගුරු හිගය, භෞතික සම්පත් හිගය, වැඩ බලන විදුහල්පති ගැටළුව මෙන්ම පසුගිය රජයේ ද්විතිය පාසල් සංකල්පය තුල ඇතම් පාසල් වැසීයාම, පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳවැටීම් වලට ප්‍රධාන නිදසුන් ලෙස දැක්විය හැකිය. පළාත් සෞඛ්‍ය සේවය ගත්විට එහි භුතික සම්පත් හිගය සහ ඖෂධ හිගය ප්‍රධාන ගැටළුකාරී තත්වයන් වේ.

රෝහලක පහසුකම් හෝ පාසල් වල අඩුපාඩු හෝ මාර්ග අඩුපාඩු වල වගකීම පැවරෙන්නේ මධ්‍යම රජයටද පළාත් සභාවන්ටද යන්න තේරුම් ගැනීම ජනතාවට ගැටළුවක්ව පවති. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම පහසුකම් නිසිපරිදි අදාල බලධාරීන් ඉටු කරනවාද යන්නයි. ජනතා ගැටළු අධ්‍යනයේ දී පැහැදිලි වන්නේ රටේ පරිපාලනය හා සංවර්ධනයට පළාත්සභා ක්‍රමය බාධාවක් මෙන්ම අකාර්යක්ෂමතා හේතුවෙන් උද්ගත වන ගැටළු සඳහා වගකීම ද මධ්‍යම රජය වෙත පැවරෙන බවයි. තත්ත්වය එසේ වුවද පරිපාලනය අවුලෙන් අවුලට පත් කරමින් තවදුරටත් බුරුතු පිටින් අත්තනෝමතික බඳවා ගැනීම් සිදු කිරීමටද පළාත් සභා බලධාරීන් පෙලඹී තිබේ.

අපේ රටේ ඉතිහායේ බලය බෙදීම ගත් විට, දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ව්‍යුහයන් සාර්ථක පරිපාලන ව්‍යුහයන් ලෙස සඳහන් කල හැකිය. අද වන විට එම ව්‍යුහය ඔස්සේ සුවිශේෂී වැඩ කොටසක් ඉටු වෙමින් පවතී. මධ්‍යම රජය ඔවුන්ට ඍජුවම මුල්‍ය ප්‍රතිපාධන ලබා දෙන අතර ඔවුන් ඒවා ඉතා කාර්යක්ෂම සම්බන්ධීකරණයෙන්, පරිපාලන සහ යටිතල පහසුකම් සංවර්ධනය මගින් ජනතා අවශ්‍යතා ඉටුවේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ව්‍යුහයන් ඍජුව මධ්‍යම රජයට වගකීමට බැඳී සිටීම සහ සියළු පාර්ශව සමග සම්බන්ධීකරණයයි. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම මත මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන ගමට සංවර්ධන වැඩසටහන, ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ක්‍රීඩාංගන සංවර්ධන වැඩසටහන, බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන විහාරස්ථාන සහ දහම් පාසල් වැඩිදියුණු කිරීමේ වැඩසටහන, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන දිවයින පුර සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මැටි කර්මාන්ත සහ කිතුල් සංවර්ධන කර්මාන්ත වැඩසටහන්, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය ක්‍රියාත්මක කරන පාසල් වල පරිගණක විද්‍යාගාර සංවර්ධන වැඩසටහන්, කදුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වතු ආශ්‍රිත මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩසටහන ඉහත කාරණයට නිදසුන් ලෙස දැක් විය හැකිය.

පළාත්සභා වල සමස්ථ වියදමින් 75%ක් වෙන්වන්නේ පරිපාලන වියදම් සඳහාය. ඉන් වැඩි වියදම් ප්‍රතිශතයක් දැරීමට සිදුවන්නේ ද මධ්‍යම රජයටයි. ඊට අමතරව පළාත්සභා වල බදු එකතු කිරීමේ ව්‍යුහයන් ද තිබේ. එහෙත් ගැටලුව වන්නේ මෙම පුනරාවර්තන වියදම් මගින් මහජනතාවට ලැබෙන්නේ කුමක්ද යන්නයි. බොහෝ පළාත් සභා තමන්ගේ අධි සුඛෝපභෝගී වියදම් පිරිවැය ද වක්‍රව රටේ මහජනතාව වෙත යොමු කරන තත්වයක් තිබේ. පළාත් සභා වියදම් වල තත්ත්වය එසේ උවත් ඒවා සින්නක්කර බුදලයක් ලෙස සිතා සිටින ඇතැම් ප්‍රධාන අමාත්‍යවරුන් තවදුරටත් මෙම අවිචාරවත් සංස්කෘතියට පනපොවමින් සිටින බව පෙනෙන්නට තිබේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙනත් සුභ සාධන කාර්යයන් සඳහා බලය පළාත්සභා වලට පවරා තිබුන ද දශක ගණනාවක් තුල මහජන මුදල් පිරිවැයට සාපේක්‍ෂව ජනතාව තුල මතු කර ඇත්තේ වත්මන් පළාත් සභා පිලිබඳ අසාර්ථක හැගීමකි.

රටක් ලෙස මේ වනවිට අප රජයේ සමබර විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් විදෙස් ආයෝජන අවස්ථා රැසක් රටතුල ක්‍රියාත්මක වනවා. එමගින් ජනතා අරමුණ ඉටුකරලීම සඳහා පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ඔවුන්ට හිමි බල ව්‍යුහයන් තුලින් ලැබෙන්නේ උපකරයකටත් වඩා දැඩි බාධා කාරී ප්‍රතිචාරයකි. රටේ සංවර්ධනය ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ජනතාවගේ පාර්ශවයෙන් සිතා බලා සංවර්ධනය කේන්ද්‍ර කර ගත් අනපනත් රට ඉදිරියේ තබන විට ඒ සඳහා ද මෙම බඩ ගෝස්තරවාදී ව්‍යුහය එරෙහි වන තත්වයක් අද දක්නට තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොළේ දොරටු රට වෙනුවෙන් විවර වෙද්දී මෙම පටු ආකල්පවාදීන් ඊට එරෙහිව යන්නේ පුද්ගලික අභිමතාර්ථ හේතුවෙන් බව අවධාරණය කල යුතුයි. කෙසේ වෙතත් අප පවසන්නේ යම් අවස්ථාවක රටේ ජනතාවගේ සංවර්ධනයට මෙම ව්‍යුහයන් එරෙහි වන්නේ නම් යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් එම බාධක ඉවත් කිරීමට අප සුදානම් බවයි.

මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මහ මැතිවරණ වලින් තේරී පත්වන මහජන නියෝජිතයන් සිටි. මෙම මහජන නියෝජිතයන් ජනතාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් අවස්ථාවල පළාත්සභා ව්‍යුහයන් තුල කටයුතු කිරීමට නොහැකි තත්වයකට පත්වී ඇත.

මෙම තත්වයන් පිලිබඳ ව වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන කරුණක් තිබේ. ඒ අනුව අවධාරණය කල යුතු වන්නේ බලය බෙදීම දේශපාලනීකරණය නොවී ජනතා හිතවාදී වියයුතු බවයි. තවදුරටත් සරලව කිවහොත් පළාත්සභා, රජවරුන්ගේ රාජධානි බිහිකිරීමේ රාජපක්‍ෂ තියරියෙන් ඈත්වී. මධ්‍යම රජය සහ බලය විමධ්‍යගත කරන ව්‍යුහයන් සමග එක්ව කටයුතු නොකාලහොත් ජනවාරි 8 ජනතාවට පොරොන්දු වූ රාජපක්ෂ ගෝත්‍රික වාදය අතුගා දැමීමේ ප්‍රයත්නය අසාර්ථක වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා නිවේදනය මගින් වැඩි දුරටත් කියා සිටී.

මාධ්‍ය ඒකකය
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය

333 views