දේශපාලඥයෝ පාතාලය යලි කැදවති.. අත හිත පොලීසියෙන්.. ගෝටාභය යලි ඕනෑ..

March 1, 2017 at 4:06 am | lanka C news
දේශපාලඥයෝ පාතාලය යලි කැදවති.. අත හිත පොලීසියෙන්.. ගෝටාභය යලි  ඕනෑ..

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

නාවික හමුදාපතිගේ සේවා දිගුව මාධ්‍ය මර්දනයට උඩ ගෙඩි දීමක්

හම්බන්තොට වරාය විජාතිකකරණයට එරෙහිව පැවැති උද්ඝෝෂණය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදින්ට පහර දුන් නාවික හමුදාපතිට මාස 6 ක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. නමුත් එම මාධ්‍ය වේදියා පොලිසියට පැමිණිලි කර තිබියදීත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.  මේක නරක පූර්වාදර්ශයක්.  කොන්දේසි විරහිතව ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට සහය වෙනවා නම් ආණ්ඩුවෙන් විශේෂ සැලකිලි ලැබෙන බවට තමයි ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ආණ්ඩුව මේ හරහා ලබා දෙන පණිවිඩය.  මේ ආණ්ඩුව ක්‍රමයෙන් යන්නේ ජේ ආර් මර්දන යුගයට.

1982 දී දරමිටිපොල රතනසාර හිමිගේ පැවිදි හඬ සංවිධානය විසින් ජනමත විචාරණයට එරෙහිව පත්‍රිකාවක් බෙදනවා.  ඒ පත්‍රිකා මිටිය සහකාර පොලිස් අධිකාරි පී උඩුගම්පොල අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා කියලා හාමුදුරුවන් උසාවි යනවා.  උඩුගම්පොල විසින් හාමුදුරුවන්ට වන්දියක් ගෙවන්න ඕනෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා.  ආණ්ඩුව මොකද කරන්නේ?  ඒ වන්දිය රජයෙන් ගෙවලා උඩුගම්පොලට සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස් අධිකාරි තනතුරට උසස්වීමක් ලබා දෙනවා.  මේ සිදුවීමෙන් ඔකඳ වෙන පොලිස් අධිකාරි උඩුගම්පොල කාන්තා දිනයක දී සමසමාජ පක්ෂයේ කාන්තා නායිකාව වුණු විවියන් ගුණවර්ධන මහත්මියට පහර දෙනවා.  ඔන්න දැන් පොලිස් අධිකාරිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර ලැබෙනවා.  අවසානයේ දී 87/89 භීෂණ යුගයේ දී මධ්‍යම පලාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති විධියට දැවැන්ත භීෂණයක් වැපිරුවා ඔබට මතක ඇති.  ආණ්ඩුවේ ප්‍රභලම භීෂණය දියත්කලේ නියෝජ්‍ය පොලිස්පති උඩු     ගම්පොල විදිහටයි එකල සැලකුවේ. මද්‍යම පලාතෙ වගේම ලංකාවේ බොහෝ ප්‍රෙද්ශවල විශාල තරුණයන් පිරිසක් මේ සංහාරය නිසා මිය ගියා. නීති විරෝධිව විපක්ෂය, මාධ්‍ය සහ ජනතාව මර්දනය කරන නිලධාරින්ට වරදාන ලබා දීම හරහා ආණ්ඩු වෙනුවෙන් නීතිය නමන්න නීතිය මඩු වලිගයක් කරලා ජනතාවට තලන්න සමස්ත නිලධාරි පැලැන්තියම පෙලෙඹෙනවා.   ඒ විතරක් නොවේ.  අපි ඊයේ දැක්කා ආණ්ඩුවේ හැසිරීමෙන් දිරිමත් වුණු ගමේ චණ්ඩින් හිරු නාලිකාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු පරිසර හානියක් පිලිබඳ වාර්තා කලා කියලා පහර දෙනවා. මෙහි අවසානය වන්නේ 1987-89 භීෂණ යුගයට යළි රට තල්ලු වීමයි.

ශානි, උඩුගම්පොල අඩිපාරේ, ශානිගේ ද්විත්ව උසස්වීම පිලිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි

පසුගිය සතියේ අපි හෙලි කලා රණවිරු මර්දනයට සුරංගනා කතා ලියූ ශානි අබේසේකරට ද්විත්ව උසස්වීමක් ලැබුණා කියලා.  මේ කාරණයට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා, “ද්විත්ව උසස්වීමක් ලබා දීලා නෑ. පොලිස් අධිකාරි වෙලා වසර පහකට පස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් කලේ කියලා.  මේක සම්පූර්ණ නොමග යැවීමක්. උඩුගම්පොලගේ අඩිපාරේ යන නිලධාරියා විදිහට තමයි මම මේ ශානි අබේසේකරව දකින්නේ. 2016 වසරේ මුල අබේසේකර මහතාට සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට පොලිස් අධිකාරි තනතුරට උසස්වීමක් ලැබෙනවා.  නමුත් මේක පෙර දාතම් කරනවා 2011ට.  ඒ 2017 පෙබරවාරි මාසයේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කරන්න.  ඒ අනුව 2011 දී පොලිස් අධිකාරි තනතුරට පත් වුණු අය සමගම 2016 දී පොලිස් අධිකාරි වුණු ශානි අබේසේකරත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙනවා. නාවික හමුදා පතිට ලබාදුන් පණිවිඩයමයි ශානි අබේසේකරගේ උසස්වීම හරහා ආණ්ඩුවේ විපක්ෂ මර්ධණයට ආණ්ඩුවේ රණවිරු මර්දනයට සුරංගනා කතා ලියන පොලිස් නිලධාරීන්ට ලබාදී තියෙන්නේ. ඔබලාට මොනතරම් අපහාස උපහාස කලත් ඔබට දේශ ද්‍රෝහියන් ලෙස සැලකුවත් සැලෙන්න එපා.  මොකද ක්ෂණික උසස්වීම් සදහා එකම මග රණවිරු දඩයම සහ විපක්ෂ දඩයම කියන එකයි ආණ්ඩුව පොලීසියට ලබාදී තියෙන පණිවිඩය.  වසරක් ඇතුලත උසස්වීම් දෙකක් ලැබුණාම එය ද්විත්ව උසස්වීමක් නොවේ ද?  සාමාන්‍යයෙන් පොලිස් අධිකාරිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන්න වසර අටක සේවා කාලයක් තිබිය යුතුයි නේද?  මේ ප්‍රශ්න වලට අපි එදා පිලිතුරු ඉල්ලුවේ ස්වාධීන යැයි කියන පොලිස් කොමිසමෙන්.  නමුත් පොලිස් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක වෙනුවට උත්තර දෙන්නේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක.  මේකෙන්ම පේනවා පොලිස් කොමිසම කෙතරම් ස්වාධීනද කියන එක. අද පොලිස්පතිවරයා යටතේ තමයි පොලිස් කොමිසමත් ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි මේ ප්‍රකාශවලින් පේන්නේ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.

1895/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය කූට ලේඛණයක්.

2017 ජනවාරි 01 දින සහ අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය පැහැදිලිවම කූට ලේඛණයක්.  දැන් මුදල් ඇමති විවිධ බොරු කියමින් ජනතාව නොමග යවන්න හදනවා.  මෙහි වරද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිට දාන්න හදනවා. මුද්‍රණලායාධිපතිණියට වරද පටවන්න හදනවා. නමුත් මෙයට සත්තකින්ම වගකිව යුත්තේ රවි කරුණානායක මුදල් ඇමති තුමන්මයි.

මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීමට අංකය වෙන් කර ගත්තේ 2015 ජනවාරි 01 දා වුණත් ඇත්තටම මුද්‍රණය කර තිබෙන්නේ 2016 නොවැම්බර් 17දා.  මේ අතරේ ආණ්ඩු පෙරලියත් සමග මුදල් ඇමති මාරු වුණා.  එහෙම නම් කළ යුතුව තිබුණේ වෙන් කළ ගැසට් අංකය නොසලකා හැරලා වත්මන් මුදල් ඇමතිගෙන් නමින් අළුත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමයි.  නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් නොකළ ලේඛණයක් අත්සන් කළ බවට ප්‍රසිද්ධ කිරීමෙන් මෙම ගැසට් පත්‍රය කූට ලේඛණයක් බවට පත් වෙනවා.

ආණ්ඩුවේ ලොක්කෝ මේක මුද්‍රණලයාධිපති මත වගකීම පටවලා ඇඟ බේරා ගන්න හදනවා.  නමුත් මුද්‍රණලායාධිපතිට කිසිම වගකීමක් නෑ.  ගැසට් පත්‍රය රටේ නීතියේ කොටසක් නොවේ.  ආණ්ඩුවේ රෙගුලාසි, නියම ප්‍රකාශන සකස් වන්නේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල.  ගැසට් කියන්නේ ආණ්ඩුවේ නිල පුවත්පතේ නම. මේ ක්‍රමය එංගලන්තයේ තමයි මුලින්ම පටන්ගත්තේ. ගැසට් මගින් කරන්නේ ආණ්ඩුවේ ලේඛණ ප්‍රසිද්ධියට පත් කිරීම විතරයි.  ඒ ඒ ලේඛණයේ වගකීම තිබෙන්නේ අදාල අමාත්‍යාංශයටයි.  මුද්‍රණලයාධිපති පත්තරේ මුද්‍රණකරුවාගේ කාර්රයයි ඉටු කරන්නේ.

නිල ලේඛණයක් ඇමතිවරයාගේ අත්සනට යන්නේ අමාත්‍යාංශ ලේකම් හරහා පමණයි.  ඇමතිවරයා අත්සන් කළ ලේඛණය තමයි මුද්‍රණලයාධිපතිට මුද්‍රණය සඳහා එවන්නේ.  නමුත් ඇමතිතුමා අත්සන් කළා කියලා සඳහන් මුද්‍රිත ලේඛණයක් මුද්‍රණාලයට එව්වොත් එම නිලධාරින්ගේ ලේඛණය විශ්වාස කරලා මුද්‍රණාලය එය මුද්‍රණය කරනවා.  එහි වගකීම තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට. ඒ නිසා මෙතන මුදල් ඇමතිවරයා අත්සන් කලා කියල ලේඛණයක් ගිහින් තියෙනවනම් එහි වගකීම මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා භාරගත යුතුයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හොරෙන් පහල නිලධාරියෙක් තමන්ට අයිති නැති බලයක් පාවිච්චිකරලා  අපි මේ සදහා මුදල් ඇමතිගේ අත්සන අරන්තියෙනවායැයි කියමින් මුද්‍රණලයාධිපතිට මේ ලේඛනය යවා තියෙනවානම් අන්න ඒ යවපු නිලධාරියා  කූට ලේඛණයක් සැකසීමට වරද කරු වෙනවා.

දැන් මහ බැංකුව තිබෙන්නේ අගමැති යටතේ.  පනත අනුව මේ නියමය ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න ඕනෑ මුදල් ඇමති.  ඒ අනුව මහ බැංකුව විසින් ණය නිකුතු පිලිබඳ විස්තරය සකස් කරලා මුදල් අමාත්‍යාංශයට යවලා අත්සන් කර ගන්න ඕනෑ.  එහෙම නොකර මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් නොකළ ලේඛණයක් අත්සන් කළ බවට සඳහන් කරමින් මුද්‍රණාලයට මහ බැංකුවේ නිලධාරින් ඉදිරිපත් කළා නම් ඒක පැහැදිලිවම කූට ලේඛණයක්.  මේක අපරාධ වරදක් නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා සෘජුව නඩු පවරනවා වෙනුවට කළ යුත්තේ මේ පිලිබඳ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට පැමිණිලි කිරීම.  එහෙම කලොත් අදාල නිලධාරින් අත්අඩංගුවට ගන්න පුළුවන්.  තිස්ස අත්තනායක මැතිතුමා රක්ෂිත බන්ධනාගාර ගත කලේ කූට ලේඛණයක් භාවිතා කළා කියලා.  එහෙම නම් ඉතින් මේ ගැසට් නිවේදනය භාවිතා කළ හැමෝටම අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.

මාළුවාට ජලය සේ පාතාලයට දේශපාලනය

පසුගිය වසරදෙකේ සීග්‍රයෙන් පාතාලයේ නැගිටීමක් දක්නට ලැබෙනවා. 2013/2014 වසර වෙනකොට ලංකාවේ පාතාලය නැත්තටම නැතිවෙලයි තිබුනේ.  කලාතුරකින් තමයි පැහැරගැනීම් කප්පම් ගැනීම් වෙඩිතැබීම් ගැන අසන්න ලැබුනේ. බන්ධනාගාර බස්රථ වලට වෙඩි තැබීමනම් මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් කාලයේ ආරංචි උනේ නෑ.  නමුත් පසුගිය කාලේ මේක නිතර සිදුවන දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

මේකට හේතුවක් තියෙනවා. ලංකාවේ නෙමේ ලෝකය පුරාම පාතාලය පවතින්නේ දේශපාලනයේ සහ පොලිසියේ අනුග්‍රහයෙන්.  මාළුවාට ජලය නැතුව පවතින්න බෑ වගේම දේශපාලන අනුග්‍රහයක් නැතුව පාතාලයට පවතින්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලන භේදයකින් තොරව පාතාලය මර්දනය කල නිසා තමයි ඇතැම් පාතාල නායකයෝ නිහඩ උනේ. තවත් අය පරලොව ගියේ. සමහරු පිට රට ගියේ.

නමුත් අද දේශපාලන අනුග්‍රහය ලැබිලා තියෙන නිසා තමයි නැවතත් මේ පාතාල ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් වැඩිවෙලා තියෙන්නේ.  ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාල මර්ධනයට අමුතු මන්තරයක් දැනගෙන හිටියේ නෑ. පාතාල මර්ධනයට අමුතු ආයුධයක් තිබුනෙත් නෑ.  ඔහුගේ එකම ආයුධය උනේ දේශපාලන අපක්ෂපාතීත්වය.  කාට කවුරු රැකවරණය දුන්නත් ඒ රැකවරණය නොසලකා පාතාල නායකයන් මර්ධනය කලා. අද යලිත් දේශපාලන අනුග්‍රහය පාතාලයට ලැබිලා තියෙනවා. හොයලා බලන්න ඔය ඕනෑම පාතාල නායකයෙක් ගැන ඇහුවම පොලීසිය කියන්නේ මේ පාතාල නායකයා නම් අහවල් ඇමතිගේ කෙනෙක්.  මේ පාතාල නායකයාට අනුග්‍රහය දක්වන්නේ අහවල් දේශපාලකයායි කියලයි. එහෙම නැති පාතාල නායකයෙක් නම් ලංකාවේ නෑ.

ඒ කාලේ අපිට මතකයි කළු ලකී ගෝනවල සුනිල් කිව්වම මතක්වෙන්නේ එක දේශපාලකයෙක්.  සොත්ථි උපාලි කිව්වම මතක්වෙන්නේ තවත් දේශපාලකයෙක්. තට්ට සෝමේ කිව්වම මතක්වෙනවා තවත් දේශපාලකයෙක්. බැද්දෙගානේ සංජීව කිව්වම මතක්වෙන්නේ තවත් නායිකාවක්. පාතාලය නැති කරන්නනම් ඒ පිටුපස ඉන්න දේශපාලකයා හදුනාගෙන දේශපාලකයා විනාශකල යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමට නම් දුකට හේතුව අදුන ගන්න  ඕනෙ කියලා.  ඉතින් පාතාලයෙන් වෙඩි තැබීම දුකකි.  වෙඩි තැබීමෙන් තුවාල සිදුවීම දුකක්. මරණ සිදුවීම ඊටත් වඩා දුකක්.  එහෙම නම් දුකින් මිදීමේ මාර්ගය වන්නේ පාතාලයට අනුග්‍රහය දෙන දේශපාලකයන් හදුනාගෙන ඔවුන්ට දඩුවම් කිරීමයි. ඔවුන්ව නිහඩ කිරීමයි. අනිත් ක්‍රමය වන්නේ දේශපාලකයන් ඉදිරියේ නැවෙන් නැති දේශපාලකයන් ඉදිරියේ නීතිය නවන් නැති කොන්ද කෙලින් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ නිලධාරී තන්‍ත්‍රයක් යලි බිහිකර ගැනීමයි.

– අරවින්ද අතුකෝරල

12 views
Main News