පාස්කු බෝම්බ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට.. ඉන්පසු කාදිනල් හිමිට..

February 14, 2021 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට.. ඉන්පසු කාදිනල් හිමිට..

පාස්කු කොමිෂන් වාර්තාව ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට යොමු කිරීමෙන් පසු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත ලබා දෙනු ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ දිවුලපිටිය මාර්ග සංවර්ධන වැඩසටහන් ජනතා අයිතියට පත් කරලීමේ අවස්ථාවන්ට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය – ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ සන්ධානයක් ගොඩ නගා ගනිද්දී ඔබතුමාලගේ මන්ත්‍රීධුර අඩු වෙයිද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අන්තවාදී හෝ ජාතිවාදී පක්ෂයක් නෙමේ. සියලු ජාතීන් හා සියලු දෙනා එකතු කරගෙන යන පක්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ගමේ ජනතාව එක්ක ඉන්න පක්ෂයක්. එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනෙන් දින ඉහළට යන පක්ෂයක්. රටේ ජනතාවගේ ප්‍රශ්න වලට සවන් දීලා වැඩකරන පක්ෂයක්. අපි ලෝකයේ කිසිදු රටක්, කිසිදු ජාතියක්, කිසිදු පුද්ගලයකු තරහ කරගෙන යන පක්ෂයක් නෙමේ.

ප්‍රශ්නය – අලුතින් පත්වුනු පසුපෙළ මන්ත්‍රීවරුන් වෙනම සන්ධානගත වෙනවා කියලා තේරෙන්නේ නැද්ද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුතින් පත්වුනු පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂයේ නායකත්වයේ අනුමැතිය මත තමා කණ්ඩායමක් විදියට එකතුවෙලා තියෙන්නේ. එයාලගේ ප්‍රශ්න ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කැබිනට් අමාත්‍යවරුන්ට ඉදිරිපත් කරලා ජනතාව වෙනුවෙන් අවස්ථාවක් ගන්න තමා මේ විදියට එකතුවෙලා තියෙන්නේ. මේවගේ හැම ආණ්ඩුවකම මල්බෙරි කණ්ඩායම්, ඉගුරු කල්ලි හිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ කණ්ඩායම ඇත්තටම එකතුවුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරන්න, ආණ්ඩුව ශක්තිමත් කරන්න වගේම ජනාධිපතිතුමාව ශක්තිමත් කිරීමටයි.

– මාධ්‍ය ඒකකය

20,717 views
Main News