පාසිකුඩා බැදුම්කර අරක්කු කොම්පැනිය සහ මඩකලපු ඉඩම් නිලධාරියාට වෙඩි තැබීම අතර සම්බන්ධයක්..

March 7, 2017 at 10:40 am | lanka C news
පාසිකුඩා බැදුම්කර අරක්කු කොම්පැනිය සහ මඩකලපු ඉඩම් නිලධාරියාට වෙඩි තැබීම අතර සම්බන්ධයක්..

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අර්ජුන් ඇලෝසියස්ට හිමි මෙන්ඩිස් අරක්කු සමාගම පාසිකුඩා, කුම්බුරුමුලී වෙම්බුලී, කඩකත‍රෛයි වීදි නැතිනම් වෙරළ පාරේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතිනවා. අපි දැක්කා මේ පලාත්වල ඉදිකිරීමක් ඡායාරූප අරගෙන පටිගත කරගෙන රූපවාහිනී නාලිකා වල වාර්ථා කලාම එම පලාතේ ඉඩම් නිලධාරියාට වෙඩ් තැබුවා. ඒ නිසා ජීවිත අවදානමක් සහිතව මේ ඡායාරූප අරගෙන ආවේ විශේෂ පණිවිඩයක් කියන්න.

මේ ඉදිවන්නේ අරක්කු නිෂ්පාදන කර්මාන්තශාලාවක් බවයි කියන්නේ. අපිට ලැබී තියෙන තොරතුරු වලට අනුව මෙන්ඩිස් සමාගම බදු වංචාකරල තමන්ගේ බලපත්‍රය පවා අහිමි වු සමාගමක්. එවැනි සමාගමකට සුරාබදු කොමසාරිස්වරයා තවත් අරක්කු කර්මාන්ත ශාලාවක් අරින්න බලපත්‍ර ලබාදීමේ ඉඩක් නෑ. එහෙම ඉඩ දුන්නත් වෙරලක් අයිනේ කර්මාන්ත ශාලාවක් අරින්න ඉඩක් නෑ. මොකද පාසිකුඩා ප්‍රදේශය උග්‍ර ජල හිගයක් තියෙන ප්‍රදේශයක්. අරක්කු කියන්නෙත් ජලය දැවැන්ත ලෙස අවශ්‍ය කර්මාන්තයක්.

ඒ නිසා අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියෙන් වංචනිකව උපයාගත් බිලියන ගණනක මුදල් තව දුරටත් ශ්‍රී ලංකාවේ තබාගැනීම අවදානම් නිසා මේ කර්මාන්ත ශාලාවට යන්ත්‍ර සුත්‍ර ගෙන ඒමේ මුවාවෙන් විදේශ ගත කරන්න උත්සහ කරනවාද කියල.

යන්ත්‍ර සුත්‍ර වල සත්‍ය වටිනාකම මිලියන 500 යි නම් ඒ වටිනාකම වෙනුවට බිලියන 5 කට එම යන්ත්‍ර විකුණන සමාගම ඉන්වොයිස් කරනවා. එවිට අදාල සමාගම ඒ මුදල ගෙවනවා. එතකොට අනික් සමාගම කරන්නේ තමන්ගෙන් මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර වල සත්‍ය වටිනාකම අරගෙන ඉතිරි මුදල විදේශ රටක අර අනිත් සමාගමට අයත් බැංකු ගිණුමකට දානවා.

අපි කියනවා මේකට අධි ඉන්වොයිස් ක්‍රමය හරහා විදේශ විනිමය පිට රටට ගෙන යාම කියලා. මේක සුලභ ක්‍රමයක්. අපිට සාධාරන සැකයක් තියෙනවා බැඳුම්කර මගඩියේ කළු සල්ලි මෙරට තබාගැනීමේ අවධානම පෙනෙන නිසා විදේශ ගත කිරීමේ උත්සහයක්ද මේ කියලා.

ඒ නිසා ජනපතිතුමනි අශ්වයා පැන ගියාට පසු ඉස්ථාලය වසා වැඩක් නැත. මේ ගැන විමර්ශනය කරන්නට තිබුනේ පසුගිය වසර දෙකේ. දැන් කාලය ගෙව්වා හොදටම ඇති. පිවිතුරු හෙළ උරුමය මේ අර්බුදයට පස්විද වැඩ සටහනක් යෝජනා කලා.

  1. වංචනිකව ඉපයූ මුදල් අත්හිටුවා වහාම මහ බැංකුවේ භාරයට ගන්න.
    අද වෙනතුරුත් මේක කලේ නෑ. කලා නම් මෙහෙම පිට රටවලට හොර පාරවල් වලින් සල්ලි ටික යවන්න වෙන්නෙත් නෑ.
  2. පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගම සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අවලංගු කරන්න.
    ඒ දේ කලේත් නෑ. ඒ නිසා 2015 පෙබරවාරි මාසයේ කරපු බැදුම්කර වංචාව ඒ විදිහටම 2016 මාර්තු මාසයේත් කලා.
  3. වරද කරුවන් රටින් පිටවීම නවත්වන්න ගමන් බලපත්‍ර උසාවිය භාරයට ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගන්න.
    ඒ දෙය ඉටුඋනෙත් නැහැ.
  4. කල් නොයවා නීතිපති හරහා මොවුන්ට විරුද්ධව අධි චෝදනා පත්‍ර ගොනු කරන්න.
    ඒක අද වෙනතුරු නීති පති අධ්‍යයනය කරනවා. සමහර ලිපිගොනු පොලීසියෙන් නීතිපතිට ගිහාම පැය 24න් නීතිපති උපදෙස් පොලීසියට ලබාදෙනවා. නමුත් මෙහිදී දෙවසරක් ගතවෙලත් නීතිපති තවම බුදි.
  5. මේ දූෂනයේදී මහ බැංකුව ගැන හැමෝම කතා කලත් ලංකා බැංකුව සහ සේවක අර්ථසාධක අරමුදල ගැන කවුරුවත් කතා කරන්නෑ. ලංකා බැංකුවට ලබාදුන් දුරකථන ඇමතුමකින් බිලියන ගානක ණයක් පපෙචුවෙල් ට්‍රෙසරීස් සමාගමට දුන්නේ කොහොමද ? ලංකා බැංකුව සෘජුව බැදුම්කර මිලදී ගැනීම් කරන් නැතුව, පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගන්නට යාමෙන් මිලියන ගණනක ආදායමක් අහිමිකර ගත්තේ ඇයි? සේවක අර්ථසාධක අරමුදල සෘජුව මිලදී ගන්නැතුව පපෙචුවෙල් ට්‍රෙසරීස් හරහා මිලදී ගත්තේ ඇයි. මේ ගැන අද වෙන තුරු කිසිම සංවාදයක් නැහැ. පරීක්ෂණයක් නැහැ.

මහ බැංකුව කියන හඳ දෙස බලන අතරෙම වටේ තියෙන තරු දෙසත් බලන්න කියල අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

4 views
Main News