පැන්නූ ලොක්කෙක් යලිත් කුරුමානමේ.. හොරෙන් හොරෙන් ඇවිත් යයි…

June 11, 2022 at 10:00 am | lanka C news
පැන්නූ ලොක්කෙක් යලිත් කුරුමානමේ.. හොරෙන් හොරෙන් ඇවිත් යයි…

ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂකවරු හතර දෙනකු විසින් කොන්ත්‍රාත් පදනමින් ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් ලේක්හවුස් ආයතනයේ ස්ථීර සේවකයන්ට පමණක් ගෙවීමට හිමිකම් ඇති ප්‍රසාද දීමනා රුපියල් මිලියන 4.4 පමණ හොර පාරෙන් නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම මුදල් ආයතනයට යළි අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් ලේක්හවුස් සියළු වෘත්තිය සමිති සාමාජික එකමුතුවෙන් සැදි ලේක්හවුස් සුරැකීමේ සංසදය ඉල්ලා සිටී.

එමෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති අධ්‍යක්ෂවරු එක්ව 2020 වසරේ පැවැති මහා මැතිවරණයේ සමගි ජන බලවේගය පක්ෂයේ ( ටෙලිෆෝන් පක්ෂයේ ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඉන් හරි අඩක් එක් බලවත් අධ්‍යක්ෂකවරයකු විසින් රූපවාහිනී නාලිකාවක් හිමි පුවත්පත් මුද්‍රණය සිදු කරනු ලබන ව්‍යාපාරිකයකුගේ මුද්‍රණාලයක් වෙත ලබා දී කොමිස් අයුතු ලෙස ලබා ගෙන ඇති බවද ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියේ සදහන් වේ. එමෙන්ම ටෙලිෆෝන් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය බාර දෙන ලද එවකට ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ලේකම් ප්‍රසන්නද සිල්වා වෙත ලබා දිය යුතු කොමිස් මුදල් නිසි පරිදි නොගෙවා ඇති බවටද කරුණු අනාවරණය කරයි. එමෙන්ම ලේක්හවුස් ආයතනයට ලබා දුන් මුද්‍රණ කොන්ත්‍රාත්තුව වෙනත් මුද්‍රණ ආයතනයකට ටෙන්ඩර් පටිපාටියකින් හෝ විනිවිදභාවයකින් තොරව ලබා දීම ඉන් කොමිස් ලබා ගැනීම , ජාතික සේවක සංගමයේ ලේකම්වරයාට හිමි විය යුතු කොමිස් මුදල් නිසි පරිදි නොගෙවීම සම්බන්දව ඔහු විසින් පාර්ලිමේන්තුවේ ඔබ්බුඩ්ස්මන්වරයාට , අලලස් කොමිසමට , පාර්ලිමේන්තු කාරක සභාවට , කෝප් කමිටුවට පැමිණිලි කර ඇති බවත් මේ වන විට ඒ සම්බන්දව පරීක්ෂණ කීපයක් පැවැත්වෙන බවද එම ලිපියේ සදහන් වේ.

එමෙන්ම ලේක්හවුස් ආයතනයට බස් රථ දෙකක් මිලදී ගැනීමේදී ඉන් අයුතු ලෙස රුපියල් මිලියන එකයි දශම හතරක් ( රුපියල් මිලියන 1.4 ක් ) කොමිස් අධ්‍යක්ෂකවරු දෙදෙනකු විසින් ලබා ගෙන ඇති බවත් අල්ලස් කොමිසමේ ඒ සම්බන්ද පරීක්ෂණය පැවැත්වෙන දිනට පෙර දිනයේ අදාළ කොමිස් මුදල් සම්බන්දව ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ පැවැති ලිපි ගොණුව එක් බලවත් අධ්‍යක්ෂකවරයකු විසින් ගණකාධිකාරිවරයකු ලබා අස්ථානගත කර ඇති බවත් එම ලිපියේ සදහන් වේ. මේ සම්බන්දවද රජයේ විගණන දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් පැවැත්වෙන බවද එම ලිපියේ සදහන් වේ.

එවැනි පසුබිමකදී අදාළ අධ්‍යක්ෂකවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව යළිත් ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වීමට කුරුමානම් අල්ලමින් සිටින බවත් ඔහු පසුගිය සතියේ අවස්ථා කීපයකදී ඉල්ලා අස්වීමෙන් අනතුරුව සිය නිල කාමරයට පැමිණ ඇති බවත් ඔහුගේ හිටපු නිල රියදුරු අවභාවිතා කරමින් සිටින බවත් , ඔහු සමගි ජන බලවේගය පක්ෂයේ 2020 මහා මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කිරීම මගින් කොමිස් අයුතු ලෙස ලබා ගත් අයෙකු බවත් ජනාධිපතිවරයාට වෘත්තීය සමිති එකමුතුව යැවු ලිපියේ සදහන් වේ.

එමෙන්ම පසුගිය පාලනාධිකාරිය නියෝජනය කරන ලද අධ්‍යක්ෂකවරයා යළිත් අධ්‍යක්ෂ ධුරයකට පත් වීම මගින් පසුගිය අධ්‍යක්ෂක මණ්ඩලයට එල්ලව තිබෙන චෝදනා සම්බන්ද ලිපි ගොනු අතරුදන් වීමට ඉඩ ඇති බවටත් ස්වාධීන පරීක්ෂණ ආයතනවල පරීක්ෂණවලට බාධා විය හැකි බවටත් එම වෘත්තීය සමිති එකමුතුව කියා සිටී. එම නිසා අදාළ දුෂණ චෝදනා එල්ලව තිබෙන අධ්‍යක්ෂකවරයා යලිත් ලේක්හවුස් පාලනාධිකාරියට පත් නොකරන ලෙසද වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් සහ ලේක්හවුස් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ලේක්හවුස් ආයතනයේ පවතින මුල්‍ය අර්බුදය හමුවේ හිස්ව ඇති අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික තනතුරු දෙක සදහා 2015 වසරේ කාවන් රත්නායක සභාපතිවරයා යටතේ විධායක නොවන අධ්‍යක්ෂක ධුරයත් පත් කළ ආකාරයට පත් කිරීම් සිදු කරන ලෙසද එම වෘත්තීය සමිති ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති. එමගින් එක් අධ්‍යක්ෂකවරයකු නඩත්තු කිරීමට වැය වන මුලික වැටුප සහ දීමනා රුපියල් ලක්ෂ 5 ක පමණ දීමනා වැටුප් ඉතිරි වන බවත් මසකට රුපියල් මිලියයනයක් පමණ ඉතිරි කළ හැකි බවත් එම ලිපියේ සදහන් වේ. එසේම 2015 වසරේ සිට ලේක්හවුස් ආයතයේ සිදුව ඇති දුෂණ වංචා සෙවීම සදහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද එම ලේක්හවුස් වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිතුමාට යැවු ලිපියේ සදහන් වේ.

එම ලිපිය පහතින් දැක්වේ.

*********************

ලේක්හවුස් ආයතනයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරුනු ලබන ලේක්හවුස් සුරැකීමේ සංසදය,
සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ,
ඩී.ආර් විජේවර්ධන මාවත ,කොළඹ 10.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,
ගරු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා,

2022/06/10

ලේක්හවුස් හිටපු සභාපති සහ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ස්ථිර සේවකයන්ට ගෙවනු ලබන බෝනස් මිලියන 4 ක් හොර පාරෙන් වංචා සහගත ලෙස ලබා ගෙන.

බස් රථ මිලදී ගැනීමේ කොමිස් වංචාවේ ලිපි ලේඛන අතුරුදන් කළ අධ්‍යක්ෂක යළි අධ්‍යක්ෂක ධුරයක් ලබා ගැනීමට කුරුමානම් අල්ලයි. නිල කාමරයටත් හොරෙන් එයි.

හිස්ව ඇති අධ්‍යක්ෂක ධුරයන්ට විධායක අධ්‍යක්ෂකවරු එපා. ඉන් රුපියල් මිලියනයක් ඉතිරි කළ හැකියි.

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමනි.

ඕනෑම රාජ්‍ය අයතනයක අධ්‍යක්ෂක මණ්ඩලය යනු මාසිකව අධ්‍යක්ෂක මණ්ඩ රැස්වීම් සදහා යම් දීමනාවක් හෝ මාසිකව නිශ්චිත දීමනාවක් හිමිවන තනතුරු වන බව අප කවුරුත් දන්නා කරුණකි. කෙසේ වෙතත් ලේක්හවුස් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය යනු කොන්ත්‍රාත් පදනමින් ලේක්හවුස් සේවකයකු සේ සලකනු ලබන පදනමින් ස්ථාපිත තනතුරු වෙයි. ඕනෑම රාජ්‍ය ආයතනයක සභාපති තනතුරු වසර තුනක කාලයක් සදහා පත් කිරීමද සාමාන්‍ය තත්ත්වයකි.

ලේක්හවුස් ආයතනයේ සේවකයන් සදහා බෝනස් ගෙවීම දැනට වසර 30 කට ආසනන් කාලයක සිට සිදු වන්නකි. එයට හේතුව වන්නේ ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදීන් ප්‍රවාහන , මුද්‍රණ, පත්‍ර බෙදාහැරීම් , නඩත්තු කටයුතු යන දෙපාර්තමේන්තු සහ පුවත්පත් මුද්‍රණය සෘජුව දායක නොවන සමාන්තර සේවා සපයනු ලබන දැන්වීම් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු සේවකයන්ගේ මුලික වැටුප රාජ්‍ය ආයතනයන්හි කාර්යාල කාර්ය සහයකුගේ මුලික වැටුපටත් වඩා අඩු වීම නිසාය. ලේක්හවුස් ආයතනයේ රු 30,000 මුලික වැටුප හිමි සේවක සංඛ්‍යාව මුළු සේවක පිරිසෙන් සියයට 60 කට පමණ ආසන්නය. රුපියල් ලක්ෂයක මුලික වැටුපට අඩු සේවක පිරිස සියයට 90 පමණ වෙයි.

ලේක්හවුස් ආයතනය 2015 වසර දක්වා අඛණ්ඩව ප්‍රශස්ථ ලාභ ඉපයු ආයතනයකි. ලේක්හවුස් ආයතනයේ 2005 වසර වන විට සේවකයන් 3000 පමණ සේවයේ නිරත වුවද ලේක්හවුස් සේවකයන් වෙත බෝනස් ගෙවමින් ලාභදායි ලෙස පුවත්පත් ව්‍යාපාරය සිදු කළ රාජ්‍ය සමාගමකි. 2015 සහ 2017 කාල සීමාවද ලේක්හවුස් ආයතනයේ ලාභ ප්‍රශස්ථ ලෙස පවත්වා ගෙන ගිය කාල සීමාවකි. 2020 සිට 2022 කාල සීමාවේ ලේක්හවුස් ආයතනය පරිපාලනමය අතින් කඩා වැටීමට ලක් වු කාල පරිච්ඡේදයකි. එසේම වංචා සහ දුෂණ චෝදනා රැසක් ලේක්හවුස් හිටපු පාළනාධිකාරියට එල්ලව තිබේ. මේ සම්බන්දව සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අප අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

පසුගිය 2020 සිට 2022 වර්ෂ දක්වා ලේක්හවුස් ආයතනයේ අලාභදායි මට්ටමක පැවැතියද රටේ ආර්ථිකයේ කඩා වැටීම් , ජීවන විදයම ඉහළ යාම , කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලේක්හවුස් ආයතනයේ වෘත්තීය සමිතිවල දැඩි ඉල්ලීම මත ලේක්හවුස් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ලේක්හවුස් සේවකයන් වෙත වාර්ෂිකව ගෙවනු ලබන බෝනස් කීපයක් ලබා දීමට සිදු වීය.

ලේක්හවුස් ආයතනයේ කිසිදු කොන්ත්‍රාත් පදනමේ සේවකයකු වෙත බෝනස් ලබා නොදීම නීත්‍යානුකූල පදනමකින් සිදු වන්නකි. එසේම ලේක්හවුස් ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයද කොන්ත්‍රාත් පදනමින් ස්ථාපිත තනතුරුය. ඔවුන්ට වාර්ෂික ප්‍රසාද දීමනා සදහා නීත්‍යානුකූල හිමිකම් නොමැත.

ඔවුහු ලේක්හවුස් සේවයකයන් සේ සලකා මුලික වැටුපක් සහ ඉන්ධන, ප්‍රවාහන ආදී දීමනා රැසක් සහිතව වැටුප් ලබන තනතුරුය. ලේක්හවුස් සභාපතිවරයාගේ දළ වශයෙන් මුළු වැටුප රුපියල් ලක්ෂ 8 කට ආසන්නය. අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයකුගේ මුළු වැටුප රුපියල් ලක්ෂ 5 කට ආසන්නය. ලේක්හවුස් සේවකයන් මෙන් ඔවුන්ද වැටුප් ලබන්නන් වුවත් සභාපති හෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ලේක්හවුස් සේවකයන් වෙත ගෙවනු ලබන බෝනස් ( ප්‍රසාද දීමනා ) හිමිකම් නොමැත. ඊට හේතුව ඔවුන් සේවකයන් සේ සැලකුවද කොන්ත්‍රාත් පදනමින් සේවයේ නිරත වන නැතහොත් දේශපාලනික පත්වීම් වීම නිසාය.

කෙසේ වෙතත් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේක්හවුස් සේවකයන්ට ගෙවනු ලබන බෝනස් අයුතු ලෙස නැතහොත් වංචනික ලෙස ලබා ගෙන තිබේ. ආසන්න වශයෙන් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය මෙලෙස ලබා ඇති බෝනස් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 4 කට අධිකය. ( රුපියල් ලක්ෂ 40 ) කට අධිකය. මෙම මෙදල් ලබා ගෙන ඇත්තේ ලේක්හවුස් ආයතනයේ මුල්‍ය අංශයට අදාළ ඉහළම බලධාරියකුගේ උපදෙස් අනුවය.

කොන්ත්‍රාත් පදනමින් සේවයේ නියුතුව සිටි හිටපු සභාපතිතුමා හොර පාරෙන් ලබා ගත් බෝනස් මුදලේ මුළු එකතුව මෙසේය.

ලේක්හවුස් සභාපතිතුමාගේ මුලික වැටුප රුපියල් ලක්ෂ දෙකකි. ( රු 200,000/=) මෙසේය. ( ඉන්ධන , මෝටර් රථ , රියදුරු සහ සංග්‍රහ දීමනා මෙම මුලික වැටුපට අමතරව හිමි වේ. )

1) 2020 වසරේ මාර්තු මස ලේක්හවුස් ස්ථිර සේවකයන්ට බෝනස් ගෙවීම මුලික වැටුප මෙන් එකහමාරකි. නමුත් කොන්ත්‍රාත් සේවකයෙකු වු සභාපතිතුමා එම වසරේ ලබා ඇති බෝනස් මුදල රුපියල් ලක්ෂ 3 කි. ( රු 300,000/=)

2) 2021 නොවැම්බර් මස ස්ථීර සේවකයන්ට බෝනස් ගෙවීම මුලික වැටුප මෙන් දෙගුණයකි.

ඒ අනුව කොන්ත්‍රාත් සේවකයකු වන සභාපතිතුමාට ලබා ඇති බෝනස් මුදල රුපියල් ලක්ෂ 4 කි. ( රු 400,000/=)

3) 2022 මාර්තු මස ලේක්හවුස් ස්ථීර සේවකයන්ට වැටුප මෙන් එකහමාරක් බෝනස් ගෙවිය යුතු වුවත් වෘත්තීය සමිතිවල ඉල්ලීම නිසා ගෙවු බෝනස් මුදල වුයේ වැටුප මෙන් එක් තවත් වැටුපකි. එම අවස්ථාවේ කොන්ත්‍රාත් සේවකයකු වු සභාපතිතුමා ලද බෝනස් මුදල රුපියල් ලක්ෂ 2 කි. ( රු 200,000)

ඒ අනුව හිටපු සභාපතිතුමා කොන්ත්‍රාත් සේවකයකු ලෙස තම තනතුරට අදාළ නොවන ලෙස ලබා ගෙන ඇති මුළු මුදල රුපයල් ලක්ෂ 9 කි. ( රු 900,000/=)

ලේක්හවුස් ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයකු කොන්ත්‍රාත් පදනමේ සිට තමන්ට නීත්‍යානුකූල නොවන ලෙස ලබා ගෙන ඇති බෝනස් මුදල් ප්‍රමාණය මෙසේය.

ලේක්හවුස් ආතනයේ අධ්‍යක්ෂකවරයකුගේ මුලික වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසකි. ( රු 175000/= ) ( ඉන්ධන , ප්‍රවාහන , මෝටර් රථ , රියදුරු සහ සංග්‍රහ දීමනා මීට අමතරව ලැබේ. )

1) ලේක්හවුස් ස්ථිර සේවකයන්ට 2020 මාර්තු මස වැටුප මෙන් වැටුප් එකහමාරක් හිමි වීය. නමුත් කොන්ත්‍රාත් සේවයේ නියුතු එක් අධ්‍යක්ෂකවරයකු නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති බෝනස් මුදල රුපියල් දෙලක්ෂ හැට දෙදහසකි. ( රු 262,000/= )

2) ලේක්හවුස් ස්ථීර සේවකයන්ට 2021 නොවැම්බර් මස වැටුප මෙන් දෙගුණයක් බෝනස් මුදල් හිමි වීය. නමුත් කොන්ත්‍රාත් සේවයේ නියුතු එක් අධ්‍යක්ෂකවරයකු නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති බෝනස් මුදල රුපියල් තුන්ලක්ෂ පනස් දහසකි. ( රු 350,000/=)

3) ලේක්හවුස් ආයතනයේ ස්ථීර සේවකයකුට 2022 මාර්තු මස වැටුප මෙන් වැටුප් එකහමාරක් හිමි විය යුතු වුවත් වෘත්තීය සමිතිවල ඉල්ලීම මත ලැබුණේ වැටුප මෙන් එක් වැටුපක් පමණි. නමුත් කොන්ත්‍රාත් සේවයේ නියුතු එක් අධ්‍යක්ෂකවරයකු නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති බෝනස් මුදල රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසකි. ( රු 175,000/=)

ඒ අනුව එක් අධ්‍යක්ෂකවරයකු කොන්ත්‍රාත් සේවයේ සිටිමින් නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති බෝනස් මුදලේ එකතුව රුපියල් හත් ලක්ෂ අසුහත් දහසකි. ( රු 787,000/=)

ඒ අනුව එක් අධ්‍යක්ෂකවරයකු රුපියල් හත්ලක්ෂ අසුහත්දහසක් බැගින් අධ්‍යක්ෂකවරු 4 දෙනකු කොන්ත්‍රාත් සේවයේ සිටිමින් නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති බෝනස් මුදල් ප්‍රමාණය රුපියල් තිස් එක් ලක්ෂ හතලිස් අට දහසකි. (31,48,000/=)

ඒ අනුව ලේක්හවුස් හිටපු සභාපතිතුමා සහ අධ්‍යක්ෂක මණ්ඩලය කොන්ත්‍රාත් සේවයේ සිටිමින් නීත්‍යානුකූල නොවන ලෙස ලබා ඇති මුළු බෝනස් මුදලේ එකතුව රුපියල් හතලිස් ලක්ෂ හතලිස් අට දහසකි. (40,48,000/=) එනම් රුපියල් මිලියන හතරයි දශම හතරයි අටක් පමණ වෙයි. රුපියල් මිලියන 4.48 කි.

ඒ අනුව ලේක්හවුස් සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථීර සේවයේ පත්වීම් ලෙස සලකන ලෙස හිටපු ප්‍රබලයකු සහ අධ්‍යක්ෂක වරයකු ලේක්හවුස් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුදල් වෙත බලපෑම් කර තිබේ. එසේම ලේක්හවුස් සමාගමේ එක්තරා මට්ටමක ලේකම්වරියක්ද හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථීර පදනමට පත් කර මෙම බෝනස් මුදල් රහසිගතව ගෙවන ලෙස දන්වා තිබේ. කෙසේ වෙතත් ලේක්හවුස් ආයතනයේ ප්‍රධානී මානව සම්පත් අමිතා කාන්තිලතා මහත්මිය විසින් මෙතෙක් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථීර සේවකයන් ලෙස ආයතනික ලිපි ලේඛණවල වෙනස් කර නොමැති බව වාර්තා වෙයි.

මේ හේතුව මත මේ වන විට ලේක්හවුස් සමාගමේ තවත් ලේකම්වරියක විසින් දිගින් දිගටම ප්‍රධානී – මානව සම්පත් වෙත හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථීර සේවකයන් ලෙස ලිපි ලේඛන වෙනස් කරන ලෙද බලපෑම් කරමින් සිටින බවත් මේ නිසා ප්‍රධානී – මානව සම්පත් දැඩි පීඩනයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි.

අප විසින් දිගින් දිගටම ඔබතුමා වෙත ලිඛිතව 2021 වසරේ සිට අවස්ථා කිපයකදීම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අකාර්යක්ෂම පාලනය සහ වංචා සහ දුෂණ චෝදනා පිළිබදව ඔබේ අවධානය යොමු කළෙමු. එසේම ආයතනයට මුල්‍ය කළමණාකරණය පිළිබද වෘත්තීය දැනුමත් සහිත සභාපතිවරයකු පත් කරන ලෙස ඉල්ලා සිටියෙමු. ඒ අනුව ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිපාළන සේවයේ කීර්තිමත් නිළධාරියකු වන අනුෂ පැල්පිට මහතා පත් කිරීම ගැන අප ස්තුතිවන්ත වෙමු. එසේම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස කිර්තිමත් මාධ්‍ය කරුවකු වන සිසිර පරණතන්ත්‍රි මහතාත් අධ්‍යක්ෂ මෙහෙයුම් ලෙස නීතීඥ මංජුල මාකුඹුර මහතාත් පත් කිරීම ගැන ස්තුතිවන්ත වෙමු.

එසේම ලේක්හවුස් ආයතනයේ ඉතිරි අධ්‍යක්ෂක ධුරයන් දෙක වන මුල්‍ය සහ නීති හා පරිපාළන අධ්‍යක්ෂක ධුරයන් විධායක නොවන අධ්‍යක්ෂක ධුරයන් ලෙස පත් කරන ලෙසත් එම පත් වීම් සදහා මුලික වැටුප් ,ඉන්ධන , ප්‍රවාහන දීමනා නොගෙවා කිසියම් නිශ්චිත දීමනාවක් පමණක් ගෙවන ලෙස පත්වීම් සිදු කර ලේක්හවුස් ආයතනය අසිරු අවස්ථාවේ මුල්‍ය අගාධයෙන් ගොඩ ගැනීම සදහා නව සභාපතිවරයාට සහාය දක්වන ලෙසත් ඉල්ලා සිටිමු. එක් අධ්‍යක්ෂකවරයකු සදහා මුලික වැටුප , ඉන්දන , මෝටර් රථ , සංග්‍රහ දීමනා ඇතුලුව නඩත්තු කිරීම සදහා රුපියල් ලක්ෂ 5 ක් පමණ මාසිකව වැය වේ. එම අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් සදහා පමණක් සහභාගී වීහ සදහා දීමනාවක් ගෙවීම සිදු කර සේවය ලබා ගත හොත් පවතින මුල්‍ය තත්ත්වය යටතේ ලේක්හවුස් ආයතනයට මසකට රුපියල් මිලියනයක පමණ මුල්‍ය ඉතිරියක් සිදු කළ හැකිය.

අප එසේ ඉල්ලා සිටීමට හේතු රැසකි. ලේක්හවුස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරු දෙදෙනකු වෙත පසුගිය කාලයේ බලවත් ලෙස මුල්‍ය වංචා සහ දුෂණ චෝදනා එල්ල වි තිබිණ. විශේෂයෙන්ම දැනට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ , රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයට භාජනය වි තිබෙන ලේක්හවුස් ආයතනයට නව බස් රථ දෙකක් මිලදී ගැනීමේදී රුපියල් මිලියන 1.4 ක් කොමිස් ගැනීමක් සිදුව ඇතැයි චෝදනා ලැබ සිටින අධ්‍යක්ෂක වරු දෙදෙනකු අතරින් එක් අධ්‍යක්ෂකවරකු යළිත් ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක තනතුරකට පත් වීමට මාන බලමින් සිටින බව වාර්තා වේ.

හෙතෙම අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අසු වු පසුව නව පාලනාධිකාරිය පැමිණි පසුව අවස්ථා දෙකකදී එම අධ්‍යක්ෂකවරයා සිටි නිල කාමරයට පැමිණ පැය ගණනාවක් රැදි සිට තිබේ. එසේම ඔහුගේ හිටපු නිල රියදුරුගේ සේවය වංචා සහගතව ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙයි. එම හිටපු අධ්‍යක්ෂකවරයා කරුමානම් අල්ලමින් සිටිනුයේ බස් රථ දෙකහි කොමිස් ගැනීමට අදාළ ලියවිලි ගිණුම් අංශයේ ගණකාධිකාරිවරයකු මගින් අස්ථාන ගත කළ ආකාරයටම හිටපු පාලනාධිකාරියේ වංචා සහගත ලෙස බෝනස් ගැනීම් , පැරැණි පුවත්පත් විකිණීමේ ටෙන්ඩර් ලබා දීම් , පුවත්පත් ප්‍රවර්ධනයට යැයි දක්වමින් මිලියන ගණනක පුවත්පත් හොර පාරෙන් විකිණීම් අදී වංචා සහගත කටයුතුවල ලිපි ලේඛණ අස්ථාන ගත කිරීමේ අපේක්ෂාවෙන් බව ආයතනයේ සේවකයන්ගේ මතය වෙයි.

උදාහරණ ලෙස පසුගිය මැයි මාසයේ නව බස් රථ දෙකෙන් රුපියල් මිලියන 1.4 ක් වංචා කිරීම සම්බන්දව අල්ලස් හෝ දුෂණ කොමිසමේ පරීක්ෂණයට දින දෙකක් තිබියදී හිටපු අධ්‍යක්ෂකවරයකුගේ බලපෑම මත ගිණුම් දෙපාර්තමේන්තුමේ තිබු බස් රථ මිලදී ගැනීමේ ප්‍රධාන ලිපි ලේඛන අස්ථාන ගත කර තිබිණ. මේ සම්බන්දව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මුල්‍ය විරාජිත් බොයිස් විසින් ලේක්හවුස් හිටපු පාලනාධිකාරියට පැමිණිලි කළද අදාළ ලියකියවිලි සතුව තිබු ගිණුම් අංශයේ ගණකාධිකාරීවරයාට විරුද්ධව කිසිදු විනය පියවරක් ගෙන නොතිබිණ. ඊට හේතුව වි ඇත්තේ හිටපු පාළනාධිකාරියේ සහ හිටපු අධ්‍යක්ෂකවරු දෙදෙනකුගේ බලපෑම මතය.

එසේම දැනට ලේක්හවුස් සේවයට යළි පැමිණිමට කුරුමානම් අල්ලනු ලබන හිටපු අධ්‍යක්ෂකවරයකුට විරුද්ධව සහ ලේක්හවුස් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා , මහජන පෙත්සම් කාරක සබාව , කෝප් කමිටුව , අල්ලස් කොමිසම සහ රජයේ විගණකාධිපති දෙපාර්තමේනතුවේ රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවක් සම්බන්දව පරීක්ෂණ ක්‍රියාත්මක වේ. එනම් 2020 වසරේ පැවැති මහා මැතිවරණය සදහා සමගි ජන බලවේගයේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කිරීමේදී සිදුවු මුල්‍ය ගණදෙනු කීපයක් සම්බන්දවය.

එනම් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කිරීමට ගිවිසුම් ගතව ඇත්තේ ලේක්හවුස් ආයතනය සමගය. නමුත් ඉන් හරි අඩක් මෙරට රූපවාහිනී නාලිකා හිමි තවත් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මුද්‍රණාලයක් වෙත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුද්‍රණ කටයුතුවලින් හරි අඩක් ඉහත කී අධ්‍යක්ෂකවරයා විසින් අත යට ගණදෙනුවක් මත ලබා දී තිබේ. ලේක්හවුස් ආයතනයට බාර ගනු ලබන මුද්‍රණ කොන්ත්‍රාත්තුවක් පිටස්තර පාර්ශ්වයකට ලබා දෙන්නේ නම් ටෙන්ඩර් පටිපාටිය හෝ කිසියම් විනිවිද භාවයකින් සිදු කළ යුතු වුවත් එසේ සිදු කර නොමැත.

එසේම එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුද්‍රණ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ එවකට ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ලේකම්වරයා වු ප්‍රසන්න සිල්වා විසිනි. ඔහු විසින් ජාතික සමගි ජන බලවේගයේ මහා මැතිවරණ කළමණාකරුවකු සම්බන්ද කරමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා දී තිබුණේ ඊට අදාළ කොමිස් මුදල් ගෙවීමට ලබා දී පොරොන්දුවක් මත බවත් කෙසේ වෙතත් අදාළ කොමිස් මුදලින් ලබා දී ඇත්තේ ඉතාම සුළු මුදලක් බවත් පවසමින් ලේක්හවුස් හිටපු ජාතික සේවක සංගමයේ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා , අල්ලස් කොමිසම, කෝම් කමිටුව , රජයේ විගණන දොපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. ඒ අනුව ඉහත කී පරීක්ෂණ පැවැත්වෙයි. මේ සම්බන්දයෙන් ලේක්හවුස් හිටපු සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉහත කී ආයතන විසින් වාර කීපයකදී පැමිණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එසේම තවත් හිටපු අධ්‍යක්ෂකවරයකු විසින් පුවත්පත් බෙදා හැරීම සම්බන්ද ප්‍රධානියකු සමග එක්ව දුෂණ වංචා රැසක් සිදු කර තිබේ. මේ සම්බන්දව අප විසින් අල්ලස් කොමිසම , රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කීපයක් සිදු කර තිබේ.

එවැනි පසුබිමකදී අප අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අගමැතිතුමාගෙන් , ගරු ජනමාධ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනුයේ දුෂණ වංචා චෝදනා එල්ලව තිබෙන හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් යළිත් ලේක්හවුස් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් නොකරන ලෙසය. එසේ පත් කළ හොත් බස් රථයේ මිලදී ගැනීමේ කොමිස් සටහන්ව තිබු ලිපි ලේඛණ අතුරුදන් වුවා සේ හිටපු පාලනාධිකාරියේ වංචා දුෂණ ලිපි ගොනු අතුරුදන් කිරිමට හිටපු අධ්‍යක්ෂකවරුන් යළි පත් විම් ලදහොත් හැකියාව පවතී. එය අදාළ ආයතනයන්හි පරීක්ෂණ කටයුතුවලට බාධා පමුණුවන්නකි. නීතියේ ආධිපත්‍යයට සිදු කරන පහර දීමකි. වංචා දුෂණ සිදු කළ උදවියට නීතියෙන් ආරක්ෂා වීමට සහාය දීමකි.

එම නිසා ලේක්හවුස් නව සභාපති අනුෂ පැල්පිට මහතාගෙන්ද අප ඉල්ලා සිටිනුයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස දුෂණ චෝදනා එල්ලව ඇති මෙරට දුෂණ වංචා පරීක්ෂණ පිළිබදව පරීක්ෂණ සිදුවන ආයතන ගණනාවක් හිටපු අධ්‍යක්ෂකවරුන් ගැන පරීක්ෂණ සිදු කරනු ලබන අවස්ථාවක එම පිරිස් අතරින් කිසිවකුත් ලේක්හවුස් හිස්ව ඇති අධ්‍යක්ෂක ධුර සදහා පත් නොකරන ලෙසය. එය ලේක්හවුස් සමස්ථ සේවකයන්ගේ බලාපොරොත්තුව බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

අතිගරු ජනාධිපතිතුමනි.

එම නිසා ලේක්හවුස් ආයතනයේ 2015 වසරේ සිට මේ දක්වා වංචා සහ දුෂණ සෙවීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන ලෙසද , ලේක්හවුස් හිටපු සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය හොර පාරෙන් ලබා ගත් බෝනස් මුදල වන ( ප්‍රසාද දීමනා ) රුපියල් මිලියන 4 ක මුදල යළිත් ලේක්හවුස් ආයතනයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් ලේක්හවුස් ආයතනයේ හිස්ව ඇති මුල්‍ය සහ නීති යන අධ්‍යක්ෂක මණ්ඩල තනතුරු 2015 වසරේ කාවන් රත්නායක සභාපතිවරයා යටතේ විධායක නොවන අධ්‍යක්ෂක මණ්ඩල තනතුරු ලෙස ස්ථාපිත කළ ආකාරයට පත් කරන ලෙසද ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු. එසේ විධායක නොවන අධ්‍යක්ෂකවරු දෙදෙනකු පත් නොකර අධ්‍යක්ෂක මණ්ඩල සදහා සහභාගී වීමට ගෙවනු ලබන දීමනාව පමණක් ගෙවන අධ්‍යක්ෂකවරු දෙදෙනකු පත් කර ලේක්හවුස් ආයතනයට මාසිකව රුපියල් මිලියනයක ( රුපියල් ලක්ෂ 10 පමණ ) පමණ ඉතිරියක් සිදු කළ හැකි බවද දන්වා සිටිනු කැමැත්තෙමු.

ස්තුතිය.

මෙයට ලේක්හවුස් ආයතනයේ සියලු වෘත්තීය සමිති නියෝජනය කරනු ලබන සාමාජික එකමුතුව
ලේක්හවුස් සුරැකීමේ සංසදය.

40,127 views

2 Comments to “පැන්නූ ලොක්කෙක් යලිත් කුරුමානමේ.. හොරෙන් හොරෙන් ඇවිත් යයි…”

  1. sam says:

    ඔය කියන සමිතියේ නම “ලේක්හවුස් භෂ්මාවශේෂ සුරැකීමේ සංසදය” ලෙස විය යුතුයි.

  2. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    සුවර් එකටම ජෙප්පෙක් ඕක පිටිපස්සේ ඇති.

    පොහොට්ටුකාරයො කවදාවත් හොරකම් කරන්නේ නෑ

Main News