පියා හා දියණිය ගමන්ගත් ත්‍රී රෝද රියට වන අලි ප්‍රහාරයක්…

June 1, 2020 at 2:19 am | lanka C news
පියා හා දියණිය ගමන්ගත් ත්‍රී රෝද රියට වන අලි ප්‍රහාරයක්…

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ගමන්කරමින් තිබූ ත්‍රී රෝද රථයකට සවස එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

අදාල ත්‍රී රෝද රථයේ පියා හා දියණිය ගමන් කොට ඇති අතර කැලෑවේ සිට එකවරම පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට වන අලියා දිව ඒමෙන් පසුව මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයට පහරදී පලා ගොස් ඇත.

කෙසේ වෙතත් ත්‍රී රෝද රථයට පහරදීමෙන් එහි ගමන්ගත් පියාට හා දියණියට බරපතල තුවාල සිදුව නොමැති අතර ඔවුන් වහාම මැදවච්චිය රෝහලට රැගෙන යාමට අසල්වාසීන් විසින් පියවර ගෙන තිබුණි.

මෙම ස්ථානයේ මීට පෙර අවස්ථා කිහිපයකදීද වන අලි ප්‍රහාරයන් සිදුවූ අතර මේ හේතුවෙන් වහාම අලිවැටක් විධිමත්ව ඉදිකරණ ලෙසටද බලධාරීන්ගෙන් ප්‍රදේශවාසීන් විසින් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,811 Viewers