පිරිවෙන් වල ස්වාමින් වහන්සේලාට පෙරදිග භාෂා දැණූම ලැබීමට ඇති මං තව දුරටත් දියුණූ කළ යුතුයි..

August 12, 2019 at 2:16 am | lanka C news
පිරිවෙන් වල ස්වාමින් වහන්සේලාට පෙරදිග භාෂා දැණූම ලැබීමට ඇති මං තව දුරටත් දියුණූ කළ යුතුයි..

අපේ ස්වාමින් වහන්සේලා පිරිවෙන් අධ්‍යපන ක්‍රමය තුළ ප්‍රාචීන භාෂා සම්බන්ධයෙන් උසස් දැණූමක් ලබනවා. ඇත්තෙන්ම අද පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂාවන් රැකෙන්නේ මේ රටේ මැනවින් ස්ථාපිතව ඇති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසයි. එය තවදුරටත් සාක්ෂාත් කිරීමට නම් අපේ ස්වාමින් වහන්සේලා පෙරදිග භාෂා දැණූම අතිනුත් වඩාත් දියුණූ විය යුතුයි. ඔබතුමා වැඩට දක්ෂයෙක්. දකුණෙත් කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් කළා. ජනතාවගේ ප්‍රසාදයට ලක් වුණා. මධ්‍යම පළාතේ අපේ ස්වාමින් වහන්සේලාගේ ඉංග්‍රීසි දැණූම ප්‍රවර්ධනයට වැඩි දියුණූ කළ සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරනවා නම් හොඳයි” අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහ පිරිවෙන් පරිවේණාධිපති ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමිපානන් මේ ලෙස අනුදැන වදාලේ මධ්‍යම පළාතේ අභිනව ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා උන්වහන්සේ බැහැ දැකීමට අස්ගිරි මහ පිරිවෙනට පැමිණී අවස්ථාවේදීය.

ආණ්ඩුකාර ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළ දිනයේ මහා නායක හිමිවරුන් බැහැදුටු ආණ්ඩුකාරවරයා අස්ගිරි මහ පිරිවෙනට වැඩියේ භික්ෂුන් වහන්සේලාගේ ශාස්ත්‍රෝද්ගහණයෙහිලා අස්ගිරිය මහ පිරිවෙනින් රටට ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් තම කෘතවේදිත්වය පිරිනමනු රිසියෙනි.

ඉන්දියාවේ නාලන්දා, වික්‍රමශිලා, ජගද්දලා, ඖදන්තපූරි වැනි භික්ෂූ විශ්ව විද්‍යාල අනුයමින් ස්වාමින් වහන්සේලාගේ දැණූම වර්ධනයෙහිලා 1958 වර්ෂයේදී ආරම්භ කෙරුණූ අස්ගිරිය මහ පිරිවෙන ස්ථාපිත කිරීමෙහිලා මුල් වූයේ අපවත් වී වදාල අති පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්සි රත්නපාල බුද්ධරක්ඛිත මහ නාහිමියන්ය. පසුකාලීනව ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය අපවත්වී වදාල හාල්යාගේ ශ්‍රී සුමණතිස්සාභිදාන නාහිමියන්ගේ ඇවෑමෙන් අස්ගිරි පිරිවෙන උගත් ධර්මධර, විනයධර යතිවරයානන් වහන්සේ නමක වූ නාරම්පනාවේ ආනන්ද හිමියන් වෙත පවරා ඇත.

දැණූම, බුද්ධිය, මනා චර්යාව හා යහ පැවැත්මකින් හෙබි ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා පරම්පරාවක් බිහි කිරීමේ අරමුණින් කටයුතු කරන නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ මේ රටේ පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම කෙරෙහීද අතිශයින් උනන්දු වන හිමිනමකි. මෙම පිරිවෙණේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා ඉංග්‍රිසි දැණූමෙන් පෝෂණය කරණූ පිණිස සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කරන අනුනාහිමියන් වහන්සේ මේ ආකාරයේ වැඩසටහන් සෙසු පිරිවෙන් වලද ක්‍රියාත්මක කිරීමෙන් නිර්මල බොදුණූ දහම පතල කරමින් ධර්ම ප්‍රචාරයෙහි නිරත වීමට මහඟ පිටුවහලක් ලැබෙන බැව අනුදැන වදාළේය.

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, “ නිර්මල බුදු දහම තමයි, අපට ලෝකයට පරිත්‍යාග කරන්නට හැකි හො=ම උරුමය. වටිනාම තෑග්ග. මේ දහම් මග අප කොයි කාටත් අනාගතයට පාර කියා දෙනවා. දිවියෙහි සැබෑ අරුත් ග්‍රහණය කරගන්නට ආලොක්යක් වෙනවා. අද බොහෝ දෙනා ලෝකෝත්තර සුවය සොයමින් සිටිනවා. නිසි මග පෙන්වීමක් නෑ. මේ ගැටළුවට උත්තර තියෙන්නේ බුදු දහමෙයි. අප හැකිතාක් ස්වාමින් වහන්සේලා ධර්ම ප්‍රචාරයෙහි පුහුණූ කළ යුතුයි. නැණ නුවණින් මෙන්ම සංවර ශීලයෙන් ගුණෝපිත අපේ ස්වාමින් වහන්සේලා ඇසුරේ අපට මේ පණිවිඩය ලෝකයට ලබා දෙන්න පුළුවන්. අස්ගිරිය මහ පිරිවෙන නාරම්පනාවේ හිමියන් බැහැ දකින්නට මා පැමිණියේත් මේ පිං බිමෙන් සිදු කෙරෙන ඒ ගෞරවණීය සේවයට ස්තුතිවන්ත වන්නටයි.”

කතිකා කරගත් පරිදි මධ්‍යම පළාතේ ස්වාමින් වහන්සේලාගේ ද්විතීයික භාෂා දැණූම වැඩි දියුණූ කිරීමෙහිලා කිසියම් වැඩපිළිවෙලක් නුදුරේදීම සකස් කිරීම කෙරෙහී මේ හමුවේදී අදහස් හුවමාරු විය. මෙම අවස්ථාවට දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල සහ ආණ්ඩුකාරතුමාගේ මාධ්‍ය ලේකම් භාරත ගුණතිලක යන මහත්වරුන්ද සහභාගි විය.

– රුක්මල් දුෂාන්ත

1,423 Viewers
Main News