පරිසරය රකින බව කියන ජනපතිට ප‍්‍රබල චෝදනාවක්.. කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා කැණීමට අවසර දෙන්න සියල්ල සූදානම්..

November 10, 2016 at 4:06 am | lanka C news
පරිසරය රකින බව කියන ජනපතිට ප‍්‍රබල චෝදනාවක්.. කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා කැණීමට අවසර දෙන්න සියල්ල සූදානම්..

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ නියෝග මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොටිකන්බොක්ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්වාට්ස්) ඛනිජය කැණීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීමට සූදානම් වේ. කිරිදි ඔයේ අතු ගංගාවක් වන අලිකොට ආරෙහි හා උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන අලිකොට ආර ජලාශය මායිමේ පිහිටි ප‍්‍රධාන ජල පෝෂක වනාන්තරය වන කොටිකන්බොක්ක වනාන්තරයෙන් අක්කර 8 ක් පමණ ඉවත් කර මෙම කැණීම් කටයුතු සිදු කිරීමට සූදනම් වේ. නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවතේ, අංක 196/එ්, රත්නවීර ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම මඟින් සිදු කිරීමට නියමිත මෙම මහ පරිමාණ යාන්ති‍්‍රක කැණීම් කටයුතු සඳහා නීති විරෝධීව අනුමැතිය ලබා දීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ, සජ්ජන සිල්වා මහතා විසින් දැඩි පරිශ‍්‍රමයක නිරත වේ.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2016.05.10 වන දින අංක 03/02/05/23/ජී.එස්.එම්.බී. දරන ලිපිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ 2016.03.31 වන දින අමාත්‍යංශයේ පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී ජනාධිපතිතුමන් මෙම කැණීම් කටයුතු සඳහා අවසර ලබා දීමට උපදෙස් ලබා දී ඇති බවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් හා ජල පෝෂක වනාන්තරයක් එළි පෙහෙළි කර, උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ අලූතින් ඉදි කරන අලිකොට ආර ජලාශයේ ඉහත්තාව මායිමේ ම මෙවන් මහ පරිමාණ කැණීම් කටයුතු සඳහා අනුමැතිය ලබා දීමට නිර්දේශ කිරීමෙන් පෙනී යන්නේ ලංකාවේ පාරිසරික නීති අභියෝගයට ලක් කරන බවය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍ර පාලනයක්, ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය රටට ඉදිරිපත් කරමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමන් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටසේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ වනාන්තර හා වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැුක ගැනීම සඳහා තරාතිරම නොබලා සියළු පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවය. නමුත් අද වන විට එවන් තත්ත්වයක් පෙනෙන්නට නොමැත.

පසුගිය රජය පැවති සමයේ දීද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මධ්‍යම පරිසර අධිකාරියට හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට කරන ලද දැඩි බලපෑම මත අමාත්‍යතුමා ගේ පුතණුවන් ගේ හිතවතුන් තිදෙනෙකුට හා පැවති වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ගේ බිරිඳ හට නීති විරෝධී ලෙස මෙම ස්ථානයේ සුදු තිරිවානා කැණීම සඳහා යාන්ත‍්‍රික කැණීම් බලපත‍්‍ර හතරක් භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් නිකුත් කෙරින. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නීති විරෝධී ලෙස ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍ර ද නිකුත් කර තිබුනි. නමුත් අපගේ මැදිහත්වීම මත එම කැණීම් කටයුතු තාවකාලිකව නතර වුවද අද වන විට නැවත වරක් එම කැණීම් කටයුතු සිදු කිරීමට සූදානම් වේ.

කොටිකන්බොක්ක වනාන්තරය අලි – ඇතුන් ජීවත් වන වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයකි. කොටසක සැවානා වානාන්තර ද ව්‍යාප්ත වී තිබේ. සුදු තිරිවානා කැනීමට යෝජිත කඳුවැටිය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරයෙන් වැසී ඇති වනාන්තරය තුළ පිහිටි කොටසකි. මේ කොටසේ සුදු තිරිවානා කැණීම සඳහා වනාන්තරය ඉවත් කළ යුතු අතර කැණීම් කරන ඛනිජ ප‍්‍රවාහනය කිරීම සඳහා වනාන්තරය තුළ මාර්ග පද්ධතියක් සකස් කළ යුතු ව ඇත.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ වනාන්තරය තුළ කැණීම් කිරීම, ගස් කපා ඉවත් කිරීම, මාර්ග තැනීම ඇතුළු සියලූම ක‍්‍රියා තහනම් වේ. එවන් තත්ත්වයක් තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරයක යාන්ත‍්‍රික කැණීම් කටයුතු සිදු කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම යනු නීති විරෝධී ක‍්‍රියාවකි. මෙම පනතේ 20 වන වගන්තියට අනුව මෙම නීති විරෝධී ක‍්‍රියාවක නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයකු හෝ එම කි‍්‍රයා වල නිරතවන පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට වසර 2ක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000 කට නොඅඩු හා රුපියල් 50,000 කට නොවැඩි දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව අදාළ වනාන්තරයට සිදු කරන ලද හානිය වෙනුවෙන් වන්දියක් ලෙස අධිකරණය නියම කරන දඩයකට පවා යටත් කළ හැකි ය. එවන් නීතිමය ආවරණයක් යටත් මෙම වනාන්තරය පාලනය වෙද්දී එම වනාන්තරය වැනසීමට ආධාර හා අනුබල දීම පිළිබඳව අප කණගාටු වෙමු.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1 කට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර සිදු කරන සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කැණීම් ව්‍යාපෘතිය සඳහා අක්කර 8 කට වඩා වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කිරීමට නියමිතව ඇත. කැණීම් භූමිය සකස් කිරීමට අමතරව කනින ලද සුදු තිරිවානා ප‍්‍රවාහනය කිරීම සඳහා වනාන්තරය තුළින් මාර්ගයක් සකස් කිරීමට පවා මේ වන විට මෙම සමාගම සූදානම් වේ. එසේ වුව ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියෙන් පරිබාහිරව පරිසර ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කිරීමට ද සූදානම් වේ. මෙවන් කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් පුරා වස්තු ආඥ පනතට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද ලබා ගත යුතුය. නමුත් මෙම කැණීම් ව්‍යාපෘතිය සඳහා පුරා විද්‍යා අනුමැතිය ද ලබා ගෙන නොමැති වීම ඉතාම හානි කර තත්ත්වයකි.

ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ වනසමින් මේ අයුරින් අන පනත් උල්ලංඝනය කරමින් නිලධාරීන්ට ක‍්‍රියා කිරීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදීම යනු වැරදි පූර්වාදර්ශ සමාජයට ලබාදීමකි. මේ සම්පත් ආරක්ෂා කිරීමට සිටින පුද්ගලයින් විසින්ම මේ සම්පත් වැනසීමට හා නීති විරෝධීව කටයුතු කිරීමට අනුබල දීම ඉතාම හානිකර තත්ත්වයකි.

මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පාර්ශ්වකරුවන් ගෙන් අප ඉල්ලා සිටින අතර ජනාධිපතිතුමන් ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ සිදු කළ වැරදි වහාම නිවැරදි කිරීමට නිහතමානීව කටයුතු කරන ලෙස ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

kjhgf

240 views
Main News