පුංචි ඡන්දයේදීත් ශ‍්‍රීලනිපය පරදා එජාපය දිනවන්න ශ‍්‍රීලනිප නායකයන් කුමන්ත‍්‍රණයක..

August 28, 2017 at 2:10 pm | lanka C news
පුංචි ඡන්දයේදීත් ශ‍්‍රීලනිපය පරදා එජාපය දිනවන්න ශ‍්‍රීලනිප නායකයන් කුමන්ත‍්‍රණයක..

සැමදා පක්ෂයට ශක්තියක් වූ රාජ්‍ය සේවකයන් හට පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කිරීමේ ඉඩකඩ අහිමි කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමට ගෙන යන කුමන්ත්‍රණයේ තවත් එක් පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

හරිනම් විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඇහැ කන පියාගෙන මෙවැනි තීන්දු තීරණවලට අනුමැතිය දෙමින් පක්ෂය විනාශ මුඛයට ඇදගෙන යන අයට බව පැවසූ රණතුංග මහතා මෙවැනි බාල උපක්‍රමවලින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සිතනවා නම් එය මේ කපේදි ඉටු නොවන සිහිනයක් පමණක් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ගනේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී  පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

‘පළාත් සභා සියල්ලෙහි මැතිවරණය එකම දිනක පැවැත්වීම සඳහා ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුව මේ පනත ගෙනාවේ පළාත් සභා මැතිවරණය 2019 දක්වා කල්දැමීමේ අරමුණ ඇතිවයි.

අවසන් වරට පළාත් සභා මැතිවරණයක් තිබ්බේ 2014 ඌව පළාත් සභාව වෙනුවෙන්. ඒ අනුව ඌව පළාත් සභාවේ පාලනය නිමා වෙන්නේ 2019 දියි. ආණ්ඩුව දැන් හදන්නේ මේක යොදාගෙන අනෙකුත් පළාත් සභාවල කාලයත් 2019 දක්වා දීර්ඝ කරන්නයි.

ආණ්ඩුව ඡන්දවලට කොච්චර බයද කියන එක මේ මඟින් පැහැදිලි වෙනවා. ආණ්ඩුව බලයට ආවේ නම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකරමිනුයි. හැබැයි ඒ මෙයාලා දෙන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජනතාවගේ ඡන්ද අයිතිය නැහැ. මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකෙම නැතුව ඇති.

මේ ආණ්ඩුව වැඩ ඇල්ලුවෙම පළාත් පාලන ඡන්දය කල්දාලයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසිසහකත වූ පළාත් පාලන ආයතන සියල්ලම විසුරුවා හැරලා කොමසාරිස් පාලනයකට යටත් කරලා තමයි ජනාධිපතිවරයා 2015 අගෝස්තු මාසේ මැතිවරණය කැ‍දෙව්වේ.

ඒකෙන්ම පේනවා ජනාධිපතිවරයා ඡන්දෙට ගියේ නිදහස් පක්ෂයේ එක කකුලක් කඩලා බව. නිදහස් පක්ෂයේ කකුල් කඩලා එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න පසුබිම හදපු ජනාධිපතිවරයා දැන් පළාත් පාලන මැතිවරණය තියන්න යන්නේ අනික් කකුලත් තඩලයි.

අපේ පක්ෂයට හැමදාම ශක්තියක් වුණේ රාජ්‍ය සේවකයන්. එක්සත් ජාතික පක්ෂය ධනවත් ව්‍යපාරිකයන් ගැන විශ්වාසය තියලා ඔවුන් අපේක්ෂකයන් ‍විදියට ඉදිරිපත් කරන කොට නිදහස් පක්ෂය ජනතාවගේ නියෝජිතයන් විදියට තෝරා ගත්තේ රාජ්‍ය සේවකයන්.

බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හදලා 1956 ආණ්ඩුව හදනකොට රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. හැබැයි බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා යැයි කියන වර්තමාන සභාපතිවරයා රාජ්‍ය සේවකයන්ට පළාත් පාලන ආයතනවල දොර වහන්න කටයුතු කරනවා.

මේක  එක පැත්තකින් සමෘද්ධි නිලධාරියාගේ, ග්‍රාම නිලධාරියාගේ, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කිරීමක් වගේම තවත් පැත්තකින් අපේ ශක්තිය දියකරලා එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්නට අවස්ථාව ලබාදීමක් ලෙසයි අපි දකින්නේ.

අද පළාත් පාලන නියෝජිතයන්ගෙන් බහුතරය ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කයි. ජනාධිපතිවරයා හිතනවා ඇති මේ වගේ පනත් ගෙනල්ලා මහින්ද මහත්තයා එක්ක ඉන්න අයට පාඩමක් උගන්වන්න. හැබැයි මේකෙන් පාඩම ඉගෙන ගන්නේ කවුද කියලා ඡන්දයෙන් පස්සේ බලාගන්න පුළුවන්.

මොන උප්පරවැට්ටි දැම්මත් ඉස්සරහට තියෙන මොනම මැතිවරණයක්වත් දිනන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. පළාත් පාලන, පළාත් සභා නෙමෙයි මහ මැතිවරණයක් තිබ්බත් මහින්ද මහත්තයා නියෝජනය කරන පාර්ශ්වය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක සැකයක් නැහැ.

ඒක දන්න නිසා තමයි ආණ්ඩුව මේ වගේ බාල උපක්‍රම අනුගමනය කරන්නේ. හරිනම් අපට නෙමෙයි විනය පරීක්ෂණ තියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා ‍පැහැදිලිව උදව් උපකාර කරන පක්ෂ නායකත්වයට විරුද්ධවයි.

පක්ෂයට හෙන ගැහුවත් කමක් නැහැ ඒකාබද්ධ විපක්ෂයට බලය ලැබෙන්නේ නැත්නම් කියන එක තමයි අද අපේ පක්ෂයේ නායකයන්ගේ අරමුණ. ඒ වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන්න මේ නායකයෝ ලෑස්තියි. 2015 අගෝස්තුවේ මහ මැතිවරණයේ දී අපේ අතේ තිබ්බ ජයග්‍රහණය උදුරා ගත්තෙත් මේ අයම තමයි.

මේකද දෙනවයි කිව්ව යහපාලනය? මේ ආණ්ඩුව ඇවිත් යහපාලනය කියන වචනයත් නැත්තටම නැති කළා. දැන් මිනිස්සු හිතන් ඉන්නේ යහපාලනය කියන්නේ ඡන්ද නොතියන එක කියලයි. එහෙමත් නැත්නම් හොරකම් කරලා අහුවුණාම ඉල්ලා අස්වෙන එකට කියලයි.

අපේ පක්ෂය මේ විදියට පාවා දෙනවා දැක දැක නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහගෙන ඉන්නේ කොහොමද කියලා අපට පුදුම හිතෙනවා. අපේ පක්ෂයේ ජයග්‍රහණය උදුරා ගන්නා විට, ජයග්‍රහණයට මං අහුරන කොටත් මේ අය අන්ධයන්, ගොලුවන්, බීරන් විදියට ඉන්නවා.

ඒ ඉන්න ගමන් හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ කියනවා කාබද්ධ විපක්ෂය පක්ෂය කඩන්න යනවා කියලා. පක්ෂය කඩන්නේ කවුද කියන එක අද පාක්ෂිකයන්ට රහසක් නෙමෙයි. මේ හොර ඇමැති නඩය සිහින මාලිගාවලින් බැහැලා ගම්වලට ගියොත් පෙනෙයි පාක්ෂිකයන්ගේ මතය මොකක්ද කියලා.

හැබැයි බොහොම ප්‍රවේසමට යන්න කියලා අපි ඒ අයට අවවාද කරනවා. මොකද ගමේ මිනිහා අද උන්නැහෙලා එනකම් ඉලපත අතේ තියාගෙනයි ඉන්නේ. සමහරුන්ට ඇමැතිකම් ගත්තොත් ගමේන් ඉලපත් පාර, නොගත්තොත් ගෙදර නෝනගෙන් ඉලපත් පාර. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අද පක්ෂයට උදා වෙලා තියෙන්නේ.

අද මේ රටේ ගෞරවණීය දේශපාලනයක් කරනවා නම් ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විතරයි. ජනතාව අද පෙළගැහෙමින් යන්නේ ඒ ගෞරවණීය දේශපාලනය සමඟ මිසක් හොරුත් එක්ක හෙළුවෙන් ඉන්න ආණ්ඩුව එක්ක නොවෙයි. ඒ බව දැන්වත් ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

32 views