පුංචි ඡන්දය කල් යන්නේ බැසිල්ගේ වරදින්.. මල් පොහොට්ටු පුප්පන්න කලින් ඔහු ජාතියෙන් සමාව ගත යුතුයි..

November 9, 2016 at 8:40 am | lanka C news
පුංචි ඡන්දය කල් යන්නේ බැසිල්ගේ වරදින්.. මල් පොහොට්ටු පුප්පන්න කලින් ඔහු ජාතියෙන් සමාව ගත යුතුයි..

පළාත් පාලන මැතිවරණය කල්යාම සහ ඒ නිසා මතුවී ඇති දේශපාලන කතිකාවත සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා ජාතික හෙළ උරුමයේ පළාත් පාලන නියෝජිතයින් නියෝජනය කරමින් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් එම අවස්ථාවට සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති තාක්ෂණික, නීතිමය හා සීමා නීර්ණය ගැටලු කඩිනමින් විසඳා පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය යුතුයි යන්න ජාතික හෙළ උරුමයේ ස්ථාවරය වන බව ප්‍රකාශ කර සිටින ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා,

මේ වනවිට සියලු දෙනාගේ අවධානය දිනාගත් කරුණක් වන පලාත් පාලන මැතිවරණය කල්යාම සම්බන්ධව අදදින අප කරුණු දක්වන්න අදහස් කර තිබෙනවා. අපේ රටේ මහජනතාවට සුවිශේෂී සේවයක් ඉටුකරන පළාත් පාලන ආයතන විසුරුවා හැරලා මේ වනවිට වසර එකහමාරක් ගෙවී ගොස් තිබිනෙවා. නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රධාන බාධාවක්වෙලා තිබෙන්නේ සීමානීර්ණ කටයුතු ප්‍රමාදයයි.

පළමුවර සීමානිර්ණය කටයුතු අවසන් වූ පසු ජනතාවගෙන් ඉදිරිපත්වූ පැමිණිලි නිසා තම කටයුතු සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන්නට සීමානිර්ණ කොමිසටම සිදුවුනා. ඒ අනුව එලෙස දෙවනවර සීමානිර්නය කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුනේ ඔක්තොම්බර් 31 දිනයේයි. නමුත් එය දෙසැම්බර් 31 දක්වා නැවත කල්දැමීමට තීරණය කරලා තියෙනවා.

පළාත් පාලන ආයතන 334න් 61ක පමණක් සිමානිර්ණය කටයුතු අවසන්  කිරීමට අශෝක පීරිස් මහතා ප්‍රමුඛ සිමානිර්ණය කොමිසම විසින් කටයුතු කළබව පසුගිය දිනවල වාර්තාවුනා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරලා ඒ ආයතන 61හි පමණක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්තුමා සමඟ පක්ෂ  ලේකම්වරුන් පවත්වන ලද සාකච්ඡාවේදී සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එකඟවෙලා තිබෙනවා. ඒ එකඟතාව අනුව ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසන්න මැතිවරණ කොමසාරිස්තුමා කටයුතු කර තිබෙනවා. නමුත් ෆැපරල් සංවිධානය ගොනුකරන ලද නඩුවක් නිසා ඒ කටයුතු සියල්ල අතරමග නැවතිලා තිබෙනවා.

මතුවී ඇති තත්වය මත මේ මැතිවරණය මේ වසර තුළ පැවැත්විය නොහැකි බව ඉතා පැහැදිලියි. මෙලෙස මැතිවරණය දිගින් දිගමට කල්යාම රටේ දේශපාලන සෞඛ්‍යටත් ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යටත් සුබදායක නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුයි. මෙලෙස මැතිවරණ නොපැවැත්වීම නිසා මහජන නියෝජිතයින්ගේ කාර්ය භාරය නිළධාරී පාලනයකට යටත් කර තිබෙනවා. මේ කොමසාරිස් පාලනය තුළ වෙනදා සිදුවූ ආකාරයට මහජනයාට සේවයක් ඉටුවෙනවාද? කියලා ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා.

සීමානීර්ණ ගැටලුව විසදුවත් මේ මැතිවරණ පවත්වන්නට නම් පළාත් පාලන පනතේ මේ වනවිට හඳුනාගෙන ඇති වැරදි 57 නිවැරදිකිරීම සිදුකළ යුතු වනවා. එහි වගකීම හා කාර්යභාරය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ වගේම හැකි ඉක්මණින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර සලසන ලෙස පළාත්සභා සහ පළාත් පාලන ගරු අමාත්‍යතුමාගෙන් අප විසින් ඉල්ලා සිටිනවා.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තරිඳු දිලීප ගමගේ මහතා,

අපේ රටේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන පිහිටුවා ඇත්තේ 1987 අංක 15 දරණ පළාත් පාලන ආයතන පනත මඟිනුයි. ඒ පනත 2012 අංක 21 දරණ පළාත් පාලන විධිවිධාන පනත මඟින් සංශෝධනය කිරිමට එවකට රජය විසින් කටයුතු කරනු ලැබුවා. මෙලෙස මෙම සංශෝධනය ඉදිරිපත්වූයේ නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සොයාබැලීමට දිනේෂ් ගුණර්ධන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබු කොමිසමේ යෝජනාවක් අනුව කොට්ඨාශ ක්‍රමය මූලික කරගත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා බව මෙහිදී සිහිපත් කළ යුතුයි.

ඒ පනත ප්‍රකාරව නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඡන්දය පැවැත්වීමට අලුතින් සීමානීර්ණය කරන්නට සිදුවුනා. ඒ සීමා නීර්ණයේදී ඇතිවූ ගැටලු නිසයි අදත් නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණය තිබිය නොහැකි නිසයි. මේ සීමානීර්ණ කටයුතු සියල්ල සිදුවූයේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙනුයි. එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික අවශ්‍යතා මත සීමා නිර්ණයන් සිදුකිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කිරීම නිසා උද්ගතවූ ඒ සෑම ගැටලුවකටම ඔහුත් සෘජුව වගකිව යුතුයි.  ඒ නිසා මල් පොහොට්ටු පුප්පන්න කලින් ඔහු ජාතියෙන් සමාව ගතයුතුයි.

කෝට්ටේ මහතගර සභාවේ හිටපු ගරු මන්ත්‍රී යූ.ඊ. දයාරත්න මහතා,

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ සීමානීර්ණය සම්බන්ධයෙන් පැමිණිලි 2000කට වඩා ඉදිරිපත් වෙලා තිබීමෙන් පැහැදිලි වෙනවා ඒ සීමානිර්ණය කටයුත්ත අසාර්ථක වෙලා තියෙනවා කියලා. මේ ආයතන හා සභාවන්හි කටයුතු අද නීතියට හා අකුරට පමණක් සිදුවෙනවා. ඒකේ අතුරු ඵලයක් විදියට සමහර අවස්ථාවල ජනතාව අපහසුවට පත්වෙලා තිබෙනවා. මේ තත්වය තවදුරටත් පැවතියොත් ඡන්දයක් ඉල්ලාගෙන වීදි බහින්නේ හිටපු මන්ත්‍රීවරු නොව ජනතාව  බව මෙහිදී කිවයුතුයි.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

53 views

11 Comments to “පුංචි ඡන්දය කල් යන්නේ බැසිල්ගේ වරදින්.. මල් පොහොට්ටු පුප්පන්න කලින් ඔහු ජාතියෙන් සමාව ගත යුතුයි..”

  1. NAK says:

    Mooo mokata deshapalneta aavada manda,muhuna dekkama ballo bath kanneth neha.

Main News