පුරන් කුඹුරුවල පොල් ඇතුළු වෙනත් වගාවන්ට අවසර..

September 11, 2020 at 8:40 am | lanka C news
පුරන් කුඹුරුවල පොල් ඇතුළු වෙනත් වගාවන්ට අවසර..

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය.

සියලු රාජ්‍ය ඇමතිවරු රැස්වීමට එක්ව සිටියහ. පසුගියදා ආරම්භ කළ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය හා කාර්යභාරය සමාලෝචනය තව සති 03කින් පමණ අවසන් කළ හැකි වෙතැයි පැවසු ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ වසර කිහිපයක් තුළ හඳුනාගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකිවන අයුරින් යයි සඳහන් කළේය.

“ඔබටම පැහැදිළි ඇති මේ අමාත්‍යාංශවලින් කොපමණ වැඩ ප්‍රමාණයක් කළ හැකිද යන්න” පොදු ප්‍රතිපත්තියක් මත ඇමතිවරයා සමග එකඟත්වයෙන් වැඩ කරන්න වගකීම භාර දී තිබෙනවා. ජනතා අපේක්ෂා ඉටුකිරීම අපේ යුතුකමක්. නිලධාරීනුත් හවුල්කරගෙන ඔබේ වගකීම ඉටුකරන්න” ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

සැලැස්මක් ඇතිව ඉදිරි වැඩ කළයුතු බව කියා සිටි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වසරින් වසර කළහැකි ප්‍රමාණය තක්සේරු කොට පස් අවුරුද්දටම සැලසුම් සකස් කරන්නැයි පැවසීය.

“ හරි සර්, සියල්ල හරි කියා නිලධාරීන් කියන්න පිළිවන්, ඒ සැලසුම් තියෙන්නේ ෆයිල් එකේ. සැලසුම් ෆයිල් එකේ තියලා ඵලක් නැහැ. ඒවා බිමට ගේන්න ඕනෑ. ඒ තමයි රාජ්‍ය ඇමතිවරයාගේ වගකීම” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වෙනසක් කරන බවට ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව සිහිපත් කළ ජනාධිපතිතුමා වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට සපථ කළේය. “ඒ වගකීම මට තිබෙනවා, ඔබටත් තිබෙනවා, ඊට අමතරව ඔබේ දේශපාලන ජීවිතය හැඩ ගස්වා ගැනීමටත් මෙය අවස්ථාවක්” එතුමා කීය.

ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් හමුවේ කළ කතාවේ දී අධ්‍යාපනය, කෘෂිකර්මය, තාක්ෂණික නවෝත්පාදන, නිවාස සම්පාදනය, ජල සැපයුම, නගර සංවර්ධනය, ජීවන වියදම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් දැක්වීය. නිදසුනක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීම ගැන සඳහන් කළ එතුමා කෘෂි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ 03ක් ස්ථාපනය කළ බව කීය.

“සමහර කුඹුරු පුරන් වෙලා. ඒවායේ වී වගා කරන්න බැ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අපි අනුමැතිය දුන්නා පුරන් කුඹුරුවල වෙනත් භෝග වගා කරන්න. ඒ ආකාරයට පොල් වගා කරන්නත් පිළිවන්” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මසකට වරක්වත් රාජ්‍ය ඇමතිවරු හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව කී ජනාධිපතිතුමා ඉදිරියට යන විට උද්ගතවන ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් අවස්ථාව ලැබෙනු ඇතැයි සඳහන් කළේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

26,823 views

5 Comments to “පුරන් කුඹුරුවල පොල් ඇතුළු වෙනත් වගාවන්ට අවසර..”

  1. මොඩ් ගොවියා says:

    පුරන් කුඹුරු වල වෙනත් කෙටි කාලීන බෝග වගා කලාට කමක් නෑ . ඒත් පොල් වගේ දෙයක් වැව්වොත් වෙන්නේ පසුකාලීනව ඕවා නිවාස හදන්න කැබලි කරල විකුණන එක. වගා බිමක් විදියට ඉතුරු වෙන්නෙ නෑ

  2. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    පුරන් කුඹුරු වෙනත් භෝග වලට වගාවට අවසර ලබාදීම හොඳයි. ඒත් ඒ මුවාවෙන් කුඹුරු ගොඩ කරන එක වෙන්න පුලුවනි. කාලයත් එක්ක දීර්ඝකාලයක් පුරන් උනු කුඹුරු දැන් වැසි කාලයේදී අතිරික්ත ජලය රඳන භූමි වෙලයි තියෙන්නෙ. ගංවතුර පාලනයට මේ පුරන් වූ භූමි කරන්නේ ලොකු උදව්වක්. ඒ නිසා මේ ඉඩම් ගොඩ නොකර පමණක් වගාවට යොදවන්න උපදෙස් දෙන්න ඕනෑ.

  3. Disce ammata discede says:

    පුරන් කුඹුරු වලට උස් වැටි පේලි හදා ඒ වැටි වල බෝග සිටුවිමට පමණක් අවසර දිය යුතුයි. එවිට ඉඩම් කට්ටි කරන්න බෑ.
    කාණු වල ජලය.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    මෙිකනං හොද වැඩක් නෙවෙයි. ටික දවසක් යනකාාට නගර අාසන්නව තියෙන සේරම කුඹුරැ පුරන් වෙිවි. ඊට පස්සෙ පොල් හිටවාවි. ඉන් පස්සෙ එ්ක ගොඩ ඉඩමක්. කුටිටි කරල විකුනාවි. වතුර බහින්න තැනක් නැතිව නගර ටික විනාඩි 10 වැස්සටත් යටවෙිවි. අපේඅ ඉන්පේනෙ මයියොඤඤා හිටවල කුඹුරැ ගොඩ කරන එවුන්. එවුන් එ් තරමි විනය ගරැක රටට අාදරේ කරන උන් නේ. ඔය වැඩෙි නං කරන්න එපා.

  5. බූරු පුතාණෝ සජිත් says:

    පුරන් කුඹුරුවල පොල් හිටවන්න අවසර දෙනව කියන්නෙ රටේ තියෙන කුඹුරු වලින් 50% විතර ගොඩ කරනව කියන එකයි. බලාගෙන යනකොට රනිල් හොඳයි.

Main News