පුරන් කුඹුරු අක්කර 30ක් වසවිස නැති ගොවිතැන් අරඹයි..

September 21, 2018 at 2:06 am | lanka C news
පුරන් කුඹුරු අක්කර 30ක් වසවිස නැති ගොවිතැන් අරඹයි..

ජාතික අවශ්‍යතාවක්ව පවතින වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාදෙමින් මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනය විසින් ක්‍රියාවට නංවන ලද පුරන් කුඹුරු අක්කර 30ක ආදර්ශ ගොවිපළේ කටයුතු (20) ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ අංක එකේ අපනයනකරු ලෙස අඛණ්ඩව සිවු වසරක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් සමාගම විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් අංගයක් ලෙස වස විස නැති ගොවිතැන ආරම්භ කිරීමේ කටයුතු ක්‍රියාවට නංවා ඇත.

වසර 30ක් තිස්සේ පුරන්ව පැවැති අක්කර 30ක භූමි ප්‍රමාණයක් මේ යටතේ අස්වැද්දීමට නියමිත අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එහි ප්‍රථම අදියර ලෙස අක්කර 6ක් අස්වැද්දීම ආරම්භ කෙරිණි.

රසායනික පොහොරින් තොර වස විස නැති ආහාර ප්‍රදේශයේ ජනතාවට සහන මිලට ලබාදීම අරමුණු කොට ගෙන ආරම්භ කරන ලද මෙම ආදර්ශ ගොවිපළේ ප්‍රථම අදියර යටතේ වී සහ එළවළු වගා කිරීමට නියමිතය.

කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස්, මිශ්‍රණ අංශ ප්‍රධානී සෙබස්තියන් ඩීමන්, මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුජීව සම්පත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවිපළේ කටයුතු ආරම්භ කරන ලදී.

– ප‍්‍රදීප් අනුර කුමාර

1,393 Viewers
Main News