පුරාවිද්‍යා ස්මාරකවල තෝස කඩ.. පන්සලේ පිං කැටයටත් තට්ටු කරයි..- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව..

June 26, 2017 at 12:19 am | lanka C news
පුරාවිද්‍යා ස්මාරකවල තෝස කඩ.. පන්සලේ පිං කැටයටත් තට්ටු කරයි..- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව..

‘මේ රට සංස්කෘතික වශයෙන් තේරුම් නොගත්, එහි ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි මේ ආණ්ඩුව දැන් පෞරාණික බෞද්ධ සිද්ධස්ථානවල පිං කැටයට පවා තට්ටු කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව නිවැරදිව කියවා නොගතහොත්, අපි ඉදිරිපිට තිබෙන අභියෝගයේ තරම නිවැරදිව වටහා නොගතහොත් ජනතාව තුළ තිබෙන ආණ්ඩු විරෝධය ‘ගඟේ පා කර හරින්නත්’ මේ ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඊට අදාළ දැනුම්වත්භාවය හදන්න තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව”නමින් රට පුරා ජනතා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට.

‘මේ ආණ්ඩුවට සල්ලාල ආණ්ඩුව කියන්නේ ඇයි?’

මෙතෙක් කාලයක් පැවැති ආණ්ඩුවලට අපි කිව්වේ ජනතාද්‍රෝහී ආණ්ඩුව හෝ දේශද්‍රෝහී ආණ්ඩුව හෝ පරගැති ආණ්ඩුව ලෙසයි. නමුත් අපි මේ ආණ්ඩුව හඳුන්වන්න අලුත් වචනයක් පාවිච්චි කරනවා, ‘සල්ලාල ආණ්ඩුව’ කියලා. මේක දේශද්‍රෝහී, පරගැති ආණ්ඩුවක් තමයි. ඒ වගේම සල්ලාල ආණ්ඩුවක්. අපි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට කීවේ, ‘දේශද්‍රෝහී පාලනයක්’ කියලා. නමුත් ‘දේශද්‍රෝහී – සල්ලාල පාලනයක්’ කියා කීවේ නැහැ. ‘මේක සල්ලාල ආණ්ඩුවක් වෙන්නේ කොහොමද?’ කියා අපි බලමු. ජනතාව පොරොන්දු කන්දක ගිල්වලා බලයට ආපු මේ ආණ්ඩුව 2015 ජනවාරි 08ට පෙර තිබූ මාතෘභූමියවත් අද ඉතිරිකර තිබෙනවාද? දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ප්‍රතිමාවක් දැන් කිලිනොච්චියේ හිටවලා තිබෙනවා, ලෝක ගෝලයත් සමඟ. ඒ ලෝක ගෝලයේ දෙමළ බසින් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ ‘තමිල් ඊළාම්’ කියලයි. මේ ආණ්ඩුව සල්ලාලකමේ යෙදීමේ නිමක් නැහැ. දැන් බලන්න, රවී කරුණානායකට මුදල් ඇමතිකම වෙනුවට විදේශ ඇමතිකම දෙනවා, ලොතරැයි මණ්ඩල දෙක සමඟ. රට හදන්නද? නැහැ. සල්ලාලකමට නොවෙයිද? ලොතරැයිපත් අලෙවි ප්‍රවර්ධන කටයුතුවලදී ලබා දෙන වෙළඳ දැන්වීම්වලින් ගසා කන්න නොවෙයිද?

මේ අය බලයට ආවේ පැවැති ආණ්ඩුවේ ඇමති මණ්ඩලය වැඩියි කියලයි. දැන් ඇමති මණ්ඩලයේ කාර්යාල ටික නඩත්තුවට පමණක් වසරකට කෝටි 180ක් වැය කරනවා. ඒවා සඳහා කෝටි 100ක තැන්පතු මුදලක් යොදවන්න රජයට සිදුව තිබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න 50ක පමණ පිරිසෙන් 25ක් පමණ කාර්යාල සඳහා කුලියට ස්ථාන අරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තිබෙනවා. දැන් මාස ගණනාවක් මාසික කුලිය ගෙව්වත් තවම අමාත්‍යාංශය පරණ තැනමයි. ඒ අලුත් ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හතර දෙනෙක් ජපානයට යනවා, කෝටි 40ක මුදලකුත් අරන්. රටේ ලක්‍ෂ 07ක ජනතාවකට උන්හිටි තැන් අහිමි වෙලා තියෙද්දි, 300කට අධික පිරිසක් මියගොස් තියෙද්දි ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයට භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් කෝටි 40ක් වියදම් කරන ආණ්ඩුවක් සල්ලාල අෘණ්ඩුවක් නොවෙයිද? ඒ විතරක්ද? මේ බරපතළ ව්‍යසනයට රට මුහුණ පා සිටියදී ඇමතිවරුන්ට සුඛෝපභෝගී නිල රථ ගන්න කෝටි 300කට අධික පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් සල්ලාල අෘණ්ඩුවකට හැර වෙන කුමකටද?

‘තමන්ගේ සුඛවිහරණය පමණක් හිතන ආණ්ඩුවක්ෟ.

ඒ විතරක් නොවෙයි, මේ ආණ්ඩුව බදු බර වැඩි කළා. පෞද්ගලික රෝහලකට යන අයකුගෙන් පවා දැන් 17%ක වැට් බද්ද අය කරනවා. රෝගීන්ගෙන් පවා බදු අය කරන ආණ්ඩුවක් සල්ලාල ආණ්ඩුවක් වන්නේ නැද්ද? ජනතාව මත බදු බර පටවලා ඒ බදු මුදලින් තමන්ට සුඛෝපභෝගී වාහන, කාර්යාල ලබා ගන්න ආණ්ඩුවක් සල්ලාල ආණ්ඩුවක් මිස අන් එකක් නොවෙයි. මේ ආණ්ඩුවට උවමනා වී තිබෙනවා රට බෙදන ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයක් ලබා ගැනීමට. ඒ සඳහා ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධික්‍ෂණ මන්ත්‍රී ධුර ලබා දී මසකට රුපියල් ලක්‍ෂ 07ක පමණ මුදලක් එක් අයකු වෙනුවෙන් වැය කරනවා. මේ ආණ්ඩුවේ නායකයන් තුළ මනුස්සකම ගෑවිලාවත් නැහැ. එදා කැබිතිගොල්ලෑවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් බලන්න ගියපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ ජනතාවට පොරොන්දුවක් දුන්නා, ‘යුද්ධය අවසන් කරලා මෙවැනි ඛේදවාචක තවදුරටත් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ’ කියලා. එතැනදී ‘යුද්ධය කරන්න කොපමණ වියදමක් යනවාද?’ කියලා ගණන් හදා බැලුවේ නැහැ. නමුත් අපි පසුගියදා දුටුවා, සාගල රත්නායක මහතා සමඟ මාතර ගංවතුරින් විපතට පත් වූවන්ගේ දුක සැප බලන්න ගිය අගමැතිවරයා හැසිරුණු හැටි. ඔහු ඒ විපතට පත් වූවන් මුහුණ දී ඇති දුක වේදනාව වටහා ගත්තේ නැහැ. ඔහුට වැදගත් වුණේ ඒ අය යළි නඟා සිටුවන්න වැය වන මුදලයි. මෙවැනි ආණ්ඩුවක් නිසයි අපි මේකට දේශද්‍රෝහී, පරගැති ආණ්ඩුවක් කියනවාට අමතරව සල්ලාල අෘණ්ඩුවක් කියලා කියන්නේ. දැන් ආපහු පාතාලය හිස ඔසවලා තිබෙනවා. දැන් සෑම දිනකම අහිංසක මිනිස්සු පාතාල වෙඩි පහරින් විනාශ වන තත්වයක් ඇති වෙලා තිබෙනවා. අද මේ රට හැම පැත්තකින්ම ආපස්සට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ‘මේ ඉරණමේ තවදුරටත් ගිලෙනවාද? මේ පාපතර ඉරණමෙන් එළියට ඒමේ මාවත නිර්මාණය කරනවාද?’ යන ප්‍රශ්නයයි අද මේ මාතෘභූමිය හමුවේ තිබෙන්නේ.

‘ගන්න එහෙම එපා – බැඳුම්කර හොර පත්තරේ’

මේ සල්ලාල ආණ්ඩුව, ලක්මාතාව පැති ගණනාවකින්. ආකාර කිහිපයකට කෙලෙසමින් සිටිනවා. අද එක් පැත්තකින් ලක්මාතාව ආර්ථිකමය වශයෙන් බරපතළ විදියට කෙලෙසනවා. මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සිදු කළ මහා සොරකම ලංකා ඉතිහාසයේ මහා සොරකම බව දැන් රටටම වැටහී අවසානයි. මේ හොරකමින් ලක්මාතාවට සිදු වූ පාඩුව ගණන් හදා අවසන් කරන්න බැරි පාඩුවක්. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු අද සාක්‍ෂි දෙනවා, ‘මේ මහා වංචාවට වග කියන්න ඕනෙ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා’ කියලා. නමුත් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා තවමත් ඉන්නවා නිදැල්ලේ. බැඳුම්කර වංචාවේ මුදල් යොදවලා ඔහු අරක්කු සමාගම් මිලදී අරගෙන තිබෙනවා. මේ රටේ බොහෝ ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ අතට ගනිමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඒ බැඳුම්කර හොරු ඒ සල්ලිවලින් අද පත්තරත් ගහනවා. ‘ගන්න එහෙම එපාෟ ඔය හොර බැඳුම්කර පත්තරේ.’ මේක කියපුවාම ලබන සතියේ මට ඒ පත්තරෙන් හොඳට නෙළනවා. ඒකට තමක් නැහැ. ඒවාට අපි හොඳට ඔරොත්තු දෙනවා. ඔය නෙළපු නෙළිල්ලේ හැටියට එහෙම නම් අපි ඉතිරි වෙන්න විදියක් නැහැ. ‘හොඳට ගහන්න මහත්වරුනි, ඒවාට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණය අද අපට තිබෙනවා.’ බැඳුම්කර හොරකමින් ගහන පත්තර මිලදී ගත්තාම ඒ පාපයෙන් කොටසක් ඒවා මිලදී ගන්න ජනතාවටත් අයිති වෙනවා. ඒ පත්තරේ විතරක් නොවෙයි තවත් මාධ්‍ය ආයතන දෙකකට බැඳුම්කරෙන් හොරා කාපු මුදල් ණයට දීලා ඒවා පාලනය කිරීමේ හැකියාව බැඳුම්කර හොරා අතට අද අරන් තිබෙනවා. 2020 රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට රතු පාවාඩ එළීමටයි ඔවුන් ඒ මාධ්‍ය ආයතන යොදා ගන්නට හදන්නේ. මේ බැඳුම්කර වංචාව නිසා මේ රටේ ව්‍යාපාරිකයන්ට බැංකුවකින් අඩු පොලියට ණයක් අරන් ව්‍යාපාර ශක්තිමත්කර ගැනීමේ ඉඩකඩ නැති වෙලා තිබෙනවා. බැඳුම්කර වංචාවෙන් මේ ආණ්ඩුව සිදු කළේ රටත්, ජනතාවත් ආර්ථිකමය වශයෙන් ‘නට්ටං’ කිරීම.

‘ලී ක්වාන් යූ වළෙන් නැගිටියිද?’

එදා ‘රනිල් වික්‍රමසිංට බැහැ’ කියලා මංගල සමරවීර ඇමතිවරයා කියපු දේ ඔප්පු වෙලා තිබෙනවා. ආණ්ඩු බලය ගන්න කලින් ඇතැම් අය සැලකුවේ ‘රනිල් වික්‍රමසිංහ ආර්ථික ඔස්තාද් කෙනෙක්’ හැටියටයි. ඔහුව ප්‍රතිරූප ගැන්වූයේ සිංගප්පුරුවේ හිටපු අගමැති ‘ලී ක්වාන් යූ’ ටයි. ඒක දන්නවා නම් ලී ක්වාන් යූ වළෙන් නැගිටලා ඇවිත් මේ යෝධයාට දෙකක් දෙනවා. (සභාවේ සිනා) රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය අතට ගත්ත දවසේ ඉඳන් හතරගාතෙන් වැටෙන දිසාවටයි යන්නේ. ජනතා සහන කැපුවා, පොහොර සහනාධාරය කැපීම නිසා සහලෙන් ස්වයංපෝෂණය වෙමින් තිබුණු රට පිටරටින් සහල් ගෙන්වන්න වන තත්වයට ඇද වැටුණා. එදා ‘පිවිතුරු හෙටක්’ කියලා කොළ කෑල්ලක් ලියාගෙන ආපු රතන හාමුදුරුවෝ අද කියනවා, ‘දැන් නම් මේ අෘණ්ඩුවෙන් හොඳක් කර ගන්න බැහැ. කරන නරක ටික නතර කර ගන්නයි දැන් නම් මම උත්සාහ කරන්නේ’ කියලා. ‘සාදු, සාදු, සාදු’ කියනවා අපේ හාමුදුරුවනේ. ආයෙත් නම් කොළ කෑල්ලකුත් අරගෙන 2020 කිට්ටුවේ එන්න නම් එපා. පන්සලට වෙලා බණක් භවනාවක් කරගෙන ඉන්න. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ අද හිටියා නම් සිදු වුණු වැරැද්ද රට හමුවේ කියලා ඒ වැරැද්ද නිවැරදි කිරීමේ සටනත් දැන් වන විට පටන් අරගෙන. එක අතකට මේ විනාශය නොදකින්න තරම් උන්වහන්සේ වාසනාවන්ත වුණා.

එක පැත්තකින් මේ රටේ කෘෂි ආර්ථිකය බිඳ වැටුණා වගේම කර්මාන්ත ක්‍ෂේත්‍රයත් දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙනවා. ඉන්දියානු නිෂ්පාදන අපේ වෙළඳපොළ ආක්‍රමණය කරමින් තිබෙනවා. වාහන වෙළඳපොළ, ආහාර වෙළඳපොළ, රසකැවිලි වෙළඳපොළ, ඖෂධ වෙළඳපොළ ආදී සියල්ලම ඔවුන් අතට පත් වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව හැම තීන්දුවක්ම අද ගන්නේ ඉන්දියානු නිෂ්පාදනවලට අපේ ආර්ථිකය ගිල ගත හැකි අන්දමට. දැන් මුරලිදරන්ගේ අයිතිය ඉන්දියාවට ලියා ගැනීමට යනවා. මේ උත්සාහ කරන්නේ අපේ මුරලිදරන්ගේ අයිතිය, මේ රටේ වෙළඳපොළ ආධිපත්‍යය පමණක් නොවෙයි මුළු රටම ඉන්දියානු කොලනියක් බවට පත්කර ගැනීමටයි. මේ රට අද වේගයෙන් ඉන්දියානුකරණය වෙමින් තිබෙනවා. ඉන්දීය ඔත්තු සේවා අද මේ රටේ අස්සක් මුල්ලක් නෑරම රිංගලා ඇතැම් දේශපාලනඥයන්ව තමන්ගේ රූකඩ බවට පත්කර ගෙන තිබෙනවා. අද මේ රටේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්‍ෂේත්‍රයට මොකද වෙලා තිබෙන්නේ? අද සෑම නාලිකාවක්ම ඉන්දියානු මධ්‍යම පංතියේ අඳෝනාව අපට හඬ කවලා ඉදිරිපත් කරමින් සිටිනවා. අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළොත් අපේ රැකියා වෙළඳපොළ සහ සේවා ආර්ථිකයේ ව්‍යාපාරික අවස්ථාවන් ටිකත් ඉන්දියාවටම නතු වෙනවා.

‘පුරාවිද්‍යා ස්මාරකවල තෝස කඩ’

ආර්ථිකය ඒ විදියට විජාතිකකරණය කරමින් යනවා. ඒ විතරක් නෙවෛයි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස සැලකෙන නුවරඑළිය, මහනුවර, කොටුව ආදී ඉපැරණි තැපැල් කාර්යාල ඉන්දියානු තෝස කඩ ව්‍යාපාරයකට දෙන්න යනවා. මේවා රනිල් වික්‍රමසිංහගේ අම්මාගේ අප්පාගේ බූදලයක් නම් ඕනෑම කල්ලතෝනියකුට දුන්නාට අපට කමක් නැහැ. ලෝකයේ විශාලතම වෙළඳ නැව් ඇතුළු කළ හැකි වරායන් 15න් දෙකක්ම අයිති අපටයි. ඒ කොළඹ වරාය සහ හම්බන්තොට වරායයි. හම්බන්තොට වරාය පිහිටා ඇත්තේ චීනය සාදන නව සේද මාවතේයි. එසේ තිබියදී හම්බන්තොට වරාය චීනයටත්, කොළඹ වරායේ නැ`ගෙනහිර පර්යන්තය ඉන්දියාවටත් දීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි, ලෝකයේ ස්වාභාවික වරායන් අතර වටිනාකම අතින් දෙවැනි ස්ථානය ගන්නා ත්‍රිකුණාමලය වරායත්, තෙල් ටැංකි හා අක්කර 500කට අධික ප්‍රමාණයකුත් ඉන්දියාවට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ ගිවිසුම් ගසා අවසන්. ලක්මව සතු වටිනා සම්පත් මේ විදියට විකුණා ගෙන කෑමට පුළුවන් සල්ලාල ආණ්ඩුවකට පමණයි. මේ ආණ්ඩුව අද ලක්මව ඒ විදියට ආර්ථිකමය වශයෙන් කෙලෙසමින් සිටිනවා.

‘ජිනීවා පාවා දීම’

‘දේශපාලනමය වශයෙන් මේ ආණ්ඩුව සල්ලාලකමේ නිරත වී සිටින්නේ කොහොමද?’ කියා අපි දැන් බලමු. පළමුව අපි බලමු විදේශ ප්‍රතිපත්තිය අතින් ආණ්ඩුව සල්ලාල වෙන්නේ කොහොමද? කියා. විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ මංගල සමරවීර 2015 ඔක්තෝබරයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කළා. එහි තිබුණා, ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද අපරාධ කළා. ඒවා පිළිබඳ සෙවීමට දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියන යෝජනාව. ඒ වගේම ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ සොයන වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුයි’ යනුවෙන් එහි සඳහන්. දැන් ශ්‍රී ලංකාවේත් සම අනුග්‍රාහකත්වය සහිතව සම්මත වූ ඒ යෝජනාවලිය පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ පනත් කෙටුම්පත් සම්මත වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දැන් සම්මත වී අවසන්. ඊට අමතරව ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කිරීම වැළැක්වීමේ’ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ද මේ අෘණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. මේ නීතිය ගෙන එන්නේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට සෑහෙන සේවයක් කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතුරුදහන් වූ ආකාරය ගැන සෙවීමට නොවෙයි. උතුරේ යුද්ධයේදී අතුරුදහන් වූ පිරිස් ගැන සෙවීමටයි. ඒ නීතිය බලාත්මක වුණොත් විදේශ රටකදී වුවත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුවන්. අතුරුදහන් වීමකට චෝදනා ලබන රෙජිමේන්තුවේ ප්‍රධානියා, ඒ විදේශ රට ඉල්ලා සිටියොත් ඔහුව අත්අඩංගුවට ගෙන ඒ රටට භාර දීමට සිදු වෙනවා. මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළ විට, එවැනි භයානක දෙයකට වුවත් පාර කැපෙනවා. මේවා කළ හැක්කේ දේශද්‍රෝහී, පරගැති, රූකඩ, සල්ලාල ආණ්ඩුවකට හැර වෙන කාටද?

‘ෆෙඩරල් පාලනයකට පාර කපන හැටි’

දැන් අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. ඒක හදන්නෙත් ඉහත කී ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවලියට අනුවයි. දැන් මේ ආණ්ඩුව ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දු ගැනීමට කමිටුවකුත් දමලා තිබෙනවා. යෝජිත ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක බලය, ඉඩම් බලය, පොලිස් බලය, පරිපාලන බලය පළාත් ආණ්ඩුවලට ලබා දීමට එමගින් යෝජනා කර තිබෙනවා. එවිට දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවක යටත් වන්නේ පළාත් ආණ්ඩුවටයි. ඒ වගේම පොලීසිය යටත් වන්නෙත් පළාත් ආණ්ඩුවටයි. මේ සියල්ල සිදු වන්නේ ජිනීවා න්‍යාය පත්‍රයට, උවමනාවට අනුව. මෙතෙක් කාලයක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී තිබුණු ඉඩම් හා පොලිස් බලතල භුක්ති විඳීමට දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් මේ රට අනිවාර්යෙන්ම ෆෙඩරල් වෙනවා. දැන් හදන්නේ ඒ දෙකත් භූක්ති විඳින්න දීලා, සමගාමී ලැයිස්තුවත් අයින් කරලා මධ්‍යම ආණ්ඩුව දුර්වල කරලා, වැඩි බලතල ප්‍රමාණයක් පළාත් ආණ්ඩුවට ලබා දෙන්න. මේ ආකාරයට ෆෙඩරල් පාලනයකට පාර කැපීම ලක්මව කෙලෙසීමක් නොවෙයිද?

‘විදේශ ප්‍රතිපත්තිය කෙලෙසා දැමීම’

ඒ වගේම මේ ආණ්ඩුව තම ඉන්දීය ගැතිභාවය ප්‍රදර්ශනය කරමින් පකිස්ථානයේ පැවැති සාක් සමුළුව වර්ජනය කළා. එමගින් මේ අය වනසා දැම්මේ ශ්‍රී ලංකාව එතෙක් රැකගත් නොබැඳි විදෙස් පිළිවෙත නොවෙයිද? මේ ආණ්ඩුව බටහිර ගැති, ඉන්දියානු ගැති විදේශ ප්‍රතිපත්තියකට ගිහින් මේ රටේ පැවැති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කෙලෙසා දමා තිබෙනවා.

‘රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ආණ්ඩුවක්ෟ’

බදු ගහලා රාජ්‍ය ආදායම වැඩි වුණා කියලා පාරම්බාන මේ ආණ්ඩුව කරන වැඬේ බලන්න. දැන් පන්සලේ පිං කැටේටත් වැඬේ දෙන්න යනවා. අධ්‍යාපන හා සංස්කෘතික ඇමති අකිල විරාජ් කාරියවසම් තෙමේ දැන් රන්ගිරි – දඹුලු ඓතිහාසික රජ මහා විහාරයේ පිං කැටේට තට්ටු කරන්න හදනවා. මහ බැංකුව හොර කාපු බහිරවයාට අතවත් තියන්නේ නැහැ. නමුත් දඹුලු විහාරයේ පිං කැටේ හරියට වාර්තා තියෙනවාද කියලා බලන්න එනවා, අකිල විරාජ් කාරියවසම්. නොදකින් විතරක්. (සභාවේ සිනා) ශ්‍රී දළදා මාලිගාවේ, කළුතර බෝධියේ, කතරගම පුද බිමේ පිං කැටවල ආදායම සොයා බැලුවේ මොන ආණ්ඩුවද? අතීතයේ සිට සම්ප්‍රදායානුකූලව සිදු වූ ඒ දේවල්වලට මේ අය අත තියන්න හදන්නේ ඇයි? දඹුලු විහාරය බලන්න එන විදේශිකයන්ට නිකුත් කරන ටිකට් එකෙන් ලැබෙන ආදායමත් උදුරා ගෙන, ඒකෙනුත් මේ ආණ්ඩුව තමන්ගේ සුඛවිහරණය හදා ගන්නයි යන්නේ.

මේක, මේ රට සංස්කෘතික වශයෙනුත් තේරුම් නොගත්තු ආණ්ඩුවක්. මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ආණ්ඩුවක්. ඒක තමයි අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිපාණන් ඇතුළු කාරක සංඝ සභාව පැවසුවේ, ‘මේ ආණ්ඩුව බෞද්ධ පිළිවෙත් නොදන්නා ආණ්ඩුවක්’ කියලා. මේක මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයත් කෙලෙසන අණ්ඩුවක් බව දැන් මේ කාටත් තේරුම් ගොස් තිබෙනවා.

‘මේ රටේ ජාතික ආරක්‍ෂාව කෙලෙසා දැමීම’

ඒ අනුව පැහැදිලියි මේ රට අද දේශපාලනමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, කෙලෙසා දමන මේ ආණ්ඩුව, රටේ මෙතෙක් පැවැති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ ඓතිහාසික සභ්‍යත්වයත් කෙලෙසා දමන බව. ඒ විතරක් නොවෙයි ජාතික ආරක්‍ෂාව පැත්තෙනුත් මේ අය මේ රට කෙලෙසා දමනවා, බුද්ධි අංශ නිලධාරීන් 16 දෙනෙකු අභූත චෝදනා මත රඳවා ගෙන සිටියදී කොටින්ගේ ‘කුරුම්බැට්ටි බලකායේ’ දෙවැනියා වූ කොටි ත්‍රස්තවාදියා කිසිදු නඩු පැවරීමකින් තොරව නිදහස් කොට තිබෙනවා. එතැනදී පූජිත පොලිස්පතිවරයාගේ නීතිය නැමී තිබෙනවා. උතුරේ හර්තාල්වලදී නිහඬව සිටින පොලීසිය සයිටම් විරෝධි විශ්විද්‍යාල සිසුන්ගේ ඔළු පළා පසුව රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද මේ රටේ බුද්ධි අංශයක් නැහැ. ඉන්දියාවට පැනලා ගියපු ත්‍රස්ත නායකයන් අද බෝට්ටුවලින් යාපනයට එනවා. මේ ආකාරයට අද මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව කෙලෙසා දමමින් සිටිනවා.

‘මේ සල්ලාල පරගැති ආණ්ඩුවට තවදුරටත් ලක්මව කෙලෙසීමට ඉඩ දී බලා සිටිනවාද? නොමැතිනම් සටන් පිට සටන් සිදුකොට මේ සල්ලාල ආණ්ඩුව ගෙදර යැවීම දක්වා ජනතා බලය කුළු ගැන්වීමට සූදානම් වෙනවාද? කියන ප්‍රශ්නයි අප ඉදිරිපිට තිබෙන්නේ. ගෙදර ගෘහ මූලිකයෝ සල්ලාලයන් වුණොත් දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. මේක සල්ලාල ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් රටක් නොවෙයි. ඓතිහාසිකව අපි බැඳී සිටිනවා මේ පොළොවේ ඒකීයභාවය, මේ පොළොවට අයිති සභ්‍යත්වය රැකලා දෙන්න. ඒක ඉතිහාසය විසින් අපේ දෙවුර මත පැටවූ වගකීමක්. ඒ විතරක් නොවෙයි මේ මහා අතීත දැනුම, ඒ අතීත සභ්‍යත්වයෙන් පණ පෙවුණු මව් පොළොව ආරක්‍ෂා කර දීමේ වගකීම අපට ඉතිහාසය පවරා දී තිබෙනවා. එකා මත්තේ එකා මළත් ඒ වගකීමට උර දෙනවා මිසක් වෙන මාවතක්, වෙන සටනක් අපට නැහැ. (අත්පොළොසන්) ඉතා ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලනවා, ඒ වගකීම හරියට කරට ගන්න, ඒ වගකීමෙන් වල්මත් වන න්‍යාය පත්‍රවල ගොදුරු නොවන්න. සතුරා සමහර වෙලාවට මිතුරු ස්වරූපයෙනුත් ඉන්නවා. සතුරා මිතුරු ස්වරූපයෙන් ඉන්න ගමන් බලනවා, බලවේගය නියමිත තැනට නොයවා වෙනත් තැනකට යවන්න.

‘නැවතත් කළු ජූලියක්…’

1983 කළු ජූලියේදී මොකද වුණේ? යාපනය සිට හමුදා නිලධාරීන්ගේ මළ කඳන් ටික බොරැල්ලට ආවා. යූඇන්පී ආණ්ඩුව පොලීසිය නිහඬ කළා. තමන්ගේ මැරයන් යොදවා දෙමළ ජනතාවගේ දේපළ සහ ජීවිත ගිනි තියන්න පටන් ගත්තා. එතැනින් තමයි ප්‍රභාකරන්ට ඕනෙ තල්ලුව හම්බ වුණේ. මරාගෙන මැරෙන කොටින් හදන්න, කොටි පැටවූ නිර්මාණය වුණේ එතැනින් පස්සේ. සිංහලයා පිළිබඳ ත්‍රාඩ හැඟීමක් දෙමළාට ඇති වුණේ ඉන් පස්සේයි. ඒ තමයි ජේ. ආර්ගේ ආණ්ඩුව කළු ජූලියට දුන්නු උදව්ව. පසුව ඒ ආණ්ඩුව ඒ තත්වය යොදාගෙන දේශපාලන පක්‍ෂ තහනම් කළා. හදිසි නීතිය, මර්දන නීති ගෙනාවා. නැවතත් එවැනි මූසල ජවනිකා නිර්මාණය කිරීමේ සූදානමක් තිබෙනවා. ඒකට නම් හසු වෙන්න එපාෟ

‘එදා වෝඞ් ප්ලේස් වෙනුවට වැල්ලවත්තට යැව්වා’

එදා ඒ හමුදා නිලධාරීන් ජීවිත පූජා කළාම සිංහල මිනිස්සු යා යුතුව තිබුණේ වැල්ලවත්තට නොවෙයි. වෝඞ් ප්ලේස් වෙතටයි. ජේ.ආර්ගේ ගෙදර තිබුණු වෝඞ් ප්ලේස් යන්න ඕනෙ මිනිහව එදා වැල්ලවත්තට යැව්වා. අන්න ඒක තමයි කොන්ත්‍රාත්තුව. ඒ ජනතා ආවේගය නියම තැනට ගෙන යන්න දෙන්නේ නැහැ. වෙනත් තැනකට ගෙනිහිල්ලා ඒ ආවේගය පිට කරනවා. ඒකෙන් වුණේ බෙදුම්වාදයට ‘කල්ලමරේ’ වූ එකයි. දෙමළ ඩයස්පෝරාව හැදුණේ ඊට පසුවයි. සල්ලි, අවි ආයුධ කොටි ත්‍රස්තයින්ට යහමින් ලැබෙන්න පටන් ගන්නේ ඊට පසුවයි. ජාත්‍යන්තර මතය දෙමළ බෙදුම්වාදය දෙසට නැඹුරු වුණේ ඊට පසුවයි. දෙමළ බෙදුම්වාදයට ඒ ස්විප් ටිකට් එක ඇදලා දුන්නේ කළු ජූලිය නිර්මාණය කළ ජේ. ආර්. ජයවර්ධනයි.

මෙදා පාරත් ජනාධිපති නිල නිවසට, අගමැති නිල නිවසට යාමට තිබෙන ජනතා ආවේගය වෙන තැනකට හරවන්න ඉඩකඩ තිබෙනවා. ඒකට නම් අහු වෙන්න එපාෟ මේ පරගැති, සල්ලාල ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් මිසක් කුමන අන්තවාදයක්වත් මට්ටු කරන්න බැහැ. මේ පරගැති හවුල් ආණ්ඩුව අන්තවාදයන් සුරතල් කරන ආණ්ඩුවක්. ඒ අන්තවාදයන් අතර ගැටුමක් හදලා, හදිසි නීතිය දමලා ඊළඟ ඡන්ද ටිකත් කල් දමා ගන්න කුරුමානම් අල්ලන ආණ්ඩුවක්. තමන්ට අභියෝගයක් වන දේශපාලන නායකයන් සිරගත කරන්න සැලසුම් හදාගෙන ඉන්න ආණ්ඩුවක්.

‘මඟ මානවක ආවේගයක්ෟ’

ඒ නිසා ඒ උගුලට නොවැටී, ජයවර්ධන ඇදපු තුරුම්පුව රනිල් වික්‍රමසිංහට අදින්න ඉඩ නොදී මිතුරු වෙසින් ක්‍රියාත්මක සතුරු පිල්ලි නිවැරදිව හඳුනාගෙන, ජාතිය නිවැරදි දෙසට ගෙන යන්න අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒක කරන්න නම් මේ මුළු පින්තූරය දකින්න ඕනෙ. අද මේ ජාතියට උවමනා මඟ මානවකයකුගේ ආවේගයක්. ප්‍රඥාවෙන් තොර, අවබෝධයෙන් තොර ආවේගය ඉතා භයානකයි.

ඒ නිසා ප්‍රඥාවන්ත ආවේගයෙන් යුත් බලවේගය බවට අපි පරිවර්තනය වෙමුෟ ඒ වෙනුවෙන් තමන්ගේ යුතුකම, වගකීම අතට ගනිමුෟ”

මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජානිපෙ කැස්බෑව සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

24 views

2 Comments to “පුරාවිද්‍යා ස්මාරකවල තෝස කඩ.. පන්සලේ පිං කැටයටත් තට්ටු කරයි..- සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව..”

  1. love nature says:

    Ranil father Esmond Wickramasinghe was a Christian his paternal uncle Lakshman Wickramasinghe was the Bishop of the Church of Sri Lanka. He is a hypocrite to pretend he is a Buddhist for political vote.

  2. Sorisoma says:

    MaRa Saha Obathuma Awilla Arthikei Ratai Hadana Hati kiyanawako .Kaale Kanne Natuwa
    Mokada Rata Thawa Awrudu 03 Kata Yahpalaneta Kiyala Dannawa Neda ?

Main News