පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. භූමිතෙල් ලීටරයකින් පාඩුව රුපියල් 51යි..

May 4, 2018 at 6:30 pm | lanka C news
පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. භූමිතෙල් ලීටරයකින් පාඩුව රුපියල් 51යි..

රුපියල කඩා වැටීම ජිවන වියදම ඉහල යාමට ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි. අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ පොදු මහජනතාව පරිහරණය කරන ඉන්ධන, කිරිපිටි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රාශියක මිල තීරණය වන්නේ රුපියලේ වටිනාකම අනුව බවයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

‘ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම මේ වන විට සීග්‍රයෙන් සිදුවන බව රහසක් නොවේ. ඩොලරයක් රුපියල් 159 ද ඉක්මවමින් අවප්‍රමාණය වී ඇත්තේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමිනි. මෙම තත්වය පිළිබඳව විවිධ අර්ථකතනයන් සමාජය තුල කථාබහට ලක් වෙමින් තිබේ. මෙලෙස රුපියල අවප්‍රමාණය වීම අපනයන ආර්ථිකයේ වර්ධනයට හේතුවන බව ඇතැම් පාර්ශවයන්ගේ මතය වී තිබෙනවා. කෙසේවෙතත් සමාජය තුල පෙනෙන යතාර්ථය වන්නේ මෙරටට ගෙන්වන ඉන්ධන, ගෑස් හා කිරිපිටි ඇතුළු බොහෝ භාණ්ඩ වල මිල ඉහල යාමට රුපියල කඩා වැටීම හේතු වන බවයි.

අපනයනය ශක්තිමත් කිරීම රුපියල අවප්‍රමාණය කිරීමෙන් පමණක් කල නොහැකිය. ඒ සඳහා අපනයනයට හිතකර පරිසරයක් රටතුල නිර්මාණය කල යුතුව ඇත. විදුලිය ඇතුළු යටිතල පහසුකම් නිසි ප්‍රමිතියක් සහ අඩු මිල ගණන් යටතේ ලබා දීම, ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම, පුහුණු ශ්‍රම බලකායක් සිටීම, කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම, දේශපාලන ස්ථාවරත්වය, අනෙක් රටවලට සාපෙක්ෂව සරල බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලංකාවට සාපේක්ෂව මුදල් එකක අවප්‍රමාණය නොවූ රටවල් ශක්තිමත්ව ඉදිරියට ගමන් කර ඇත්තේ ඉහත කී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර නිෂ්පාදන වියදම අඩු කිරීමෙන් අපනයනයට හිතකර පරිසරයක් රටතුල නිර්මාණය කර ගැනීමෙන්.

ලෝක වෙළඳපොලේ මිල පීඩනයට අනුව මේවන විටත් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් රුපියල් දාහතක පමණ පාඩුවක් ලබමින් තෙල් සංස්ථාව අලෙවි කරනු ලබයි. භූමිතෙල් ලීටරයක මිල අනුව සිදුවන පාඩුව රුපියල් 51ක් පමණ වේ.

රජයක් ලෙස සාමාන්‍ය මහජනතාවගේ සංවේදීතාවය වඩාත් හොදින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව එළඹ තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ රජය භෞතික සම්පත් සංවර්ධනය, නාස්තිය හා දූෂණයේ වැඩි නැඹුරුතාවක් දැක්වූ අතර දෛනික ජිවන අවශ්‍යතාව පිළිබඳව තැකීමක් නොකළ බව අපට මතකය. එහි ප්‍රතිපලය වුයේ එම පාලනය නිමා කිරීමට පොදු මහා ජනතාව ඉදිරිපත් වීමයි. රාජපක්ෂ පාලනය බිඳ වැටීමේ ප්‍රධාන සාධකයක් ලෙස ඉන්ධන මිල ඉහල යාම නිසා ධීවර, තිරෝද රථ, සාමාන්‍ය වෙළඳ ප්‍රජාව ඇතුළු බිම් මට්ටමේ ජන සංයුතිය තුල එම ආණ්ඩුව කෙරෙහි ඇතිවූ විරෝදය හැඳින් විය හැකිය. වත්මන් රජයද මෙම යතාර්ථය වඩාත් හොදින් අවබෝධ කර ගෙන ජනතාවගේ ජීවන වියදම අවම කිරීමට පියවර ගත යුතුය.

කර්මාන්ත කලාප බිහි කිරීම, ජි.එස්.පී බදු සහන යලි ලබා ගැනීමට කටයුතු කිරීම වැනි අපනයනය ශක්තිමකත් කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනිමින් පවතී. එමෙන්ම රජයේ අමාත්‍යංශ හා වෙනත් ආයතන වල සිදුවන වියදම් පාලනය කර නාස්තියට හා දූෂණයට තිත තබා ජනතා ගැටලු වලට විසදුම් ලබා දීම කෙරහි අවධානය යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සදහන් කලේය.

මාධ්‍ය ඒකකය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

71 views