පෙට්‍රෝලියම් එකේ අතුගාන්න හරි කමක් නෑ කියලා දවසකට කෝල් පණහක්වත් එනවා..

October 4, 2016 at 8:02 am | lanka C news
පෙට්‍රෝලියම් එකේ අතුගාන්න හරි කමක් නෑ කියලා දවසකට කෝල් පණහක්වත් එනවා..

අද සියලු දෙනාට අවශ්‍ය වී ඇත්තේ රජයේ රැකියාවක් ලබා ගැනීමට බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ පැවසුවාය.

අම්පාර දිස්ත්‍රික් මහජන සේවා රැකියා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය ඇය වැඩිදුරටත් කියා සිටියේ, තමාට ලැබෙන දුරකතන ඇමතුම් අතරින් අවම වශයෙන් දිනක දී අමතුම් පණහක්වත් ලැබෙන්නේ ‘අතුගාන්න හරි කමක් නෑ- පෙට්‍රෝලියම් එකේ රස්සාවක් හදලා දෙන්න‘ යැයි පවසමින් බවයි.

රජයේ රැකියා මතම බලාපොරොත්තු තබා නොසිට සුදුසුකම් ඇති හා දක්ෂතා දක්වන අංශයන්ගේ රැකියා වෙත යොමු වීමට තරුණ තරුණියන් කටයුතු කළ යුතු බව ද ඇය කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නි. අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය.

“අපේ රට දියුණු නොවෙන්න පළවෙනිම හේතුව තමයි එක වැඩේ කරන්න විසි පස් දෙනෙක් විතර ඉන්න එක. එතකොට එක්කෙනෙක් අතින්වත් වැඩේ හරියට කෙරෙන්නේ නෑ.

මම රජයේ රැකියා කරපු කෙනෙක්. මම අවුරුදු දහයක් වෛද්‍යවරියක් හැටියට වැඩ කළා. ඊට පස්සේ මම ව්‍යාපාර අංශයට යොමු වුණා. ව්‍යාපාර කරන අයගේ බදු වලින් තමයි රජයේ අයට බදු ගෙවන්නේ. නමුත්, රජයේ රස්සා කරන අය ගොඩක් ඉන්නේ දැන් නම් ෆේස්බුක් එකෙයි ඉන්ටර්නෙට් එකෙයි.

පුද්ගලික අංශයේ රැකියාවල විශාල ඉල්ලුමක් තියනවා. ඒ වගේම අවස්ථාවන් ඕන තරම් තියනවා. තමන් දක්ෂ දේ, තමන් ඉගෙන ගත්ත දේ හරහා වැඩ කරන්න පුළුවන්. ඉහළට යන්න පුළුවන්. රටට වැඩ කරන්නත් තමන්ට ආදායමක් ලබා ගන්නත් පුළුවන්. අලුත් දේවල් වලට යොමු වෙන්න පුළුවන්. වපසරිය වැඩි වෙනවා.

දැන් පාසලෙන් අයින් වුණු ගමන්ම විවිධ විවිධ පාඨමාලා කරනවා. දරුවෝ ඉගෙන ගන්නවා. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න. කැපවීමයි, තමන්ගේ උවමනාවයි රස්සාව ගැන ආසාවක් ඇති කරගන්නවා නම් දියුණු වෙන්න පුළුවන්.“

මේ අනුව, මෙම නව ආයතනය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කරන වර්ගීකරණය කරනු ඇත. එසේම, අවශ්‍යතාවක දී ප්‍රයෝජනවත් වන පරිදි විධිමත් දත්ත පද්ධතියක් යටතේ මෙම කාර්යාංශය පාලනය වන බව ද සදහන්.

– භාරත තෙන්නකෝන්

21 views
Main News