පෙරහරට අලි නෑ.. ධාතු කරඬුව ගොනා පිට වඩමවන්න නාහිමියෝ තීරණය කරති..

September 18, 2017 at 3:50 pm | lanka C news
පෙරහරට අලි නෑ.. ධාතු කරඬුව ගොනා පිට වඩමවන්න නාහිමියෝ තීරණය කරති..

ආගම, සංස්කෘතියවත් රැකගෙන ඉදිරියට පවත්වාගෙන යන්න වසර 150කටත් වඩා ඉපැරැණි පෙරහරට අලි දෙන ක්‍රමවේදය රජය සහ අලි හිමියන්…ප්‍රතික්ෂේප කරනවා නම් පන්සලේ ඉන්න ගොනාගේ පිට කරඬුව වැඩම කරවන වන බව හිමි නමක් ඉතා සංවේගයෙන් යුතුව පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසූයේ ඓතිහාසික වැදගත්කමක් ඇති මහනුවර යුගයේදී සාමණේර හිමිවරුන් ප්‍රගුණ කළ යුතු වූ නම්පොත නමැති මෙරට සුවිශේෂ බෞද්ධ විහාරාරාම සංග්‍රහයේ දාහතර වැනි තැන නම සඳහන් වන සිවුකෝරලයේ පරණකුරු කෝරලයේ තුන්පළාත පිහිටි මැදිලිය රජමහ විහාරයේ වාර්ෂික ඇසළ මහ පෙරහර වෙනුවෙන් අලි ඇතුන් ලබා ගැනීමට යෑමේදී සිදුවූ සිදුවීමක් මුල් කරගෙනය.

ඉතා කනගාටුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදිලිය රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ඉලුග්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ පවසති.

‘පෙරහරට අලි ලබා ගැනීමට මහත් දුෂ්කරතාවකට මුහුණපාන්න වුණා. ප්‍රදේශයේ අලි ඉන්න අයගෙන් අලි ලබා ගන්නකොටත් ඒ අය බොහෝදුරට මැසිවිලි නඟනවා අලි දෙන්න පුළුවන්කමක් නැහැ කියලා.

අපිට විශේෂයෙන් දෙවියන් හා කරඬුව වැඩමවන්න අලි දෙන්නෙක් පමණක් හිටියත් ප්‍රමාණවත්. මීට පෙර වසරවල අපි අලි 7 දෙනා 8 දෙනා දාගෙන පෙරහරට සම්බන්ධ කරගෙන පෙරහර අලංකාර කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ රජය විසින් විශේෂයෙන් වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා අපිට නිවේදන නිකුත් කරලා තිබෙනවා පුවත්පත් මඟින් ඒ වගේම විද්‍යුත් ජනමාධ්‍ය මඟින් විහාරස්ථානවල පෙරහරවල් සඳහා අලි ඇතුන් ලබා දෙනවා පින්නවල සත්තු වත්තෙන් කියලා. මමත් ඒ අනුව පෙරහරට ඉල්ලීමක් කළා අලි දෙන්නෙක් අවශ්‍යයි කියලා. නමුත් මේ අය එතෙන්ට ගියාට පස්සේ කියන්නේ අලියකුට රුපියල් 33,000ක් බඳින්න ඕනෑ. ප්‍රවාහන කටයුතු අපි සිද්ධ කරගන්න ඕනෑ කියලා. රඹුක්කන ඉඳන් මේ ස්ථානයට අලියා ප්‍රවාහනය කරගන්න රුපියල් 15,000ක් විතර යනවා. එතකොට මේ 33,000 සහ 15,000 මුදලට අමතරව තවත් වියදම් යනවා එහෙම බලපුවාම 50,000කට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වියදම් වෙනවා. මෙපමණ මුදලක් අපිට ගෙවාගන්න බැහැ.

මේ කරගෙන යන්නෙ විහාරස්ථානවල පෙරහරවල් කරන එක අඩපණ කරලා මේවා නැති කරන්න. ඒ නිසා සංස්කෘතික අංගයන් විශේෂයෙන් කරගෙන යන්න ඕනෑ. අලි නැත්නම් අපි දායකයන් එක්ක කතා කළා විහාරස්ථානයේ ගොනෙක් හදනවා පිනට. අලි නැති වුණොත් මේ සඳහා ගොනා යොදාගන්නවා. පස්සේ දායකයන් අපි කල්පනා කළා ගොනා ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම යොදා ගන්න එක වරදක් නැහැ. ගොනා කියලා කියන්නේ ඊශ්වර දෙවියන්ගේ වාහනය නිසා සද්දන්ත ගොන්නු කිහිපදෙනෙක් මේ සඳහා යොදා ගත්තා නම් පෙරහර කරන්න පුළුවන්.

ඒ නිසා මිනිස්සු විනාශ කරන විහාරස්ථානවල සංස්කෘතික අංග පිරිහෙන තාලේ වැඩ සිදු නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා’

– mawbima

1,231 views
Main News