පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

November 17, 2021 at 4:40 pm | lanka C news
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි පාලක සභාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය සිකුරාදා දින තීන්දු කර ඇත. “එස්.තුරෙයිරාජා”,“ඊ.ඒ.ජී.ආර්.අමරසේකර” සහ “ජනක් ද සිල්වා” යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ අනීතික ලෙස සිය සේවය අවසන් කිරීම අභියෝගයට ලක් කරමින් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිළධාරී ලෙස සේවය කල එන්.කේ.සූරියබණ්ඩාර විසින් 2016 වසරේදී පවරන ලද S.C.F.R.79/2016 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

පෙත්සම්කරු වන එන්.කේ.සූරියබණ්ඩාර 2007 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයට විනයාරක්‍ෂක නිළධාරියෙකු ලෙස එක්ව ඇති අතර 2014 වසරේ එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී තනතුරට උසස්වීම් ලබා ඇත.පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය විසින් උපකුලපතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමක සදහන් චෝදනා 5 ක් පදනම් කර ගනිමින් 2015 මාර්තු 03 වන දින ඔහු අනිවාර්ය නිවාඩු යවන අතර පැමිණිලිකරු වන ආචාර්ය සංගමයේ ම සාමාජිකයෙකු වන එවකට දන්ත වෛද්‍ය පීඨයේ “මහාචාර්ය ආර්.එල්.විජේවීර” ද ඇතුළත් පරීක්‍ෂණ කමිටුවක් පසුව පත්කර ඔහුට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා තිබේ.පැමිණිලිකරු වන ආචාර්ය සංගමයේ ම සාමාජිකයෙකු ඇතුලත් පරීක්‍ෂණ කමිටුවක් මගින් තමන්ට එරෙහි චෝදනාවන් පිලිබද පරීක්‍ෂණ සිදුකිරීම “ස්වභාවික යුක්තියේ මූලධර්මයන් ට” පටහැනි බවට සූරියබණ්ඩාර මහතා විසින් “මූලික විරෝධතාවයක්” මතුකර තිබියදී ම මෙම පරීක්‍ෂණය අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එම පරීක්‍ෂණ මණ්ඩලයේ නිර්දේශ පදනම් කර ගනිමින් 2015-නොවැම්බර් 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ආරක්‍ෂක නිළධාරීවරයාගේ සේවය අවසන් කර තිබේ.

පැමිණිලිකරු විසින් ම පවත්වන ලද විමර්ශනයක් පදනම් කර ගනිමින් සිය සේවය අවසන් කිරීම තම නඩුව තමන් ම අසා ගැනීමක් වන හෙයින් මෙම සේවය අවසන් කිරීම ස්වභාවික යුක්තියට පටහැනි බවත්, එනයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙසත්, අදාල සේවය අවසන් කිරීම බල රහිත සහ ශූන්‍ය කරන නියෝගයක් ලබාදෙන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහි පාලක සභාව, උපකුලපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 32 නෙකු නම් කරමින් සූරියබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර එවකට අග්‍රවිනිශ්චයකාර කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම විභාගයට ගැනීම සදහා 2016 වසරේදී අවසර ලබාදී තිබුණි.

ඊ.ඒ.ජී.ආර්.අමරසේකර සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වය මත  එස්.තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන් විසින් ප්‍රකාශයට පත්කල මෙම තීන්දුව මගින් වගඋත්තරකරුවන් විසින් අදාළ පරීක්‍ෂණ කටයුතු ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට පටහැනි ලෙස සිදුකර ඇති බවට තීන්දු කර ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12(1) වගන්තිය කඩවී ඇති බව තහවුරු කර තිබේ.ඒ අනුව ප්‍රධාන ආරක්‍ෂක නිළධාරීවරයාගේ සේවය අවසන් කල ලිපිය ශූන්‍ය සහ බල රහිත කර ඇති අතර එය කිසිදු නීතිමය බලයක් නොමැති ලියවිල්ලක් බවට නියෝග කර ඇත.මේ අනුව අදාල නිළධාරීවරයාගේ සේවය යලිත් අතීතයට බලපාන ලෙසට සක්‍රීය වනු ඇත.

පෙත්සම්කාර එන්.කේ.සූරියබණ්ඩාර මහතා වෙනුවෙන් නෙලුම් සේනානායක ඇසෝසියේට් ආයතනයේ උපදෙස් මත ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සමග නීතිඥ බුද්ධි කළුතන්ත්‍රී පෙනී සිට ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු  වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතීඥ සුරේන් ඥාණරාජ් පෙනී සිට ඇත.

61,437 views

9 Comments to “පේරාදෙණිය විශ්වවිද්‍යාලය මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..”

  1. Janaka from Matara says:

    ඔන්න ප්‍රොපෙසර්ලයි මොළගෙඩි වල තරම​.
    සමාජය වැඩකරන මූලික සිද්ධාන්ත කිහිපය ගැනවත් එතුමංලට අදහසක් නැහැ.

    • Rajiv says:

      පොතේම ඇලිලා ඉඳලා එකකට ගිහින් වැඩක් කරන්න දන්නෙ නැති කමට කැම්පස් එකටම සෙට් වෙලා ගිරවා දාලා පට්ටම් ගත්තට පස්සෙ මුන්ගෙ ඔළු ඉදිමනවා. චාටර් කෝටියයි දැන්.

  2. Kalu Albot says:

    Jayawewaa!

  3. හිකනලා says:

    සමහර මහාචාර්ය කියාගන්නා පුද්ගලයන් කිසිම කමකට නොමැති අය බව පැහැදිලි වී ඇත. පොතේ දැනුම පමණක් ඇති සමාජයේ දැනුම අවමයක් ඇති බකපන්ඩිතයන් අකටයුතු දේවල් කරපු අවස්ථා බොහෝ ඇත. අසාධාරණයට පත්වූ අනෙකුත් අයත් මෙසේ වන්දි නඩු දානවා නම් හොඳයි

  4. කිනවල රානි අක්කා says:

    වර්කෝ උබ අපේ පොල් කෙක්ක කඩල යන්ඩ , සිරිමල් උයනේ-රාජන්ගනේ යාය 7-BOC-පිම්පි -චාමරයා
    සුබ පෙරමග ලකුණු පේනවා, සල්ලිකාර මෝඩ සල්ලාල බේබද්දෝ තොගේ ගෙදරට රිංගනවා

  5. සිරිල් නිලන්ත says:

    මේ වගේ දේවල් ඕන තරම් විශ්වවිද්‍යාලවල තියෙනවා… හරිම අමිහිරි මූලික අයිතිවාසිකම් කඩවීම්. කොතලාවල විශ්ව විද්‍යාලයේ හමුදා නිළධාරීන් වෙනුවෙන් පිහිටා ඇති “නිළධාරී නිවස්නය” නමින් ඉතාමත්ම අනීතික ලෙස සිවිල් නිළධාරීන් ගෙන් මුදල් ලබා ගන්නවා කැමැත්තකින් තොරව​.

  6. Janaka from Matara says:

    නීති පද්ධතිය නං ගන්නම දෙයක් නෑ.
    ගෙඩි පිටිං වෙච්ච අස්සදාරනයකට යුක්තිය ඉල්ලගන්න අවුරුදු 7ක් රස්තියාදුව​.
    ඒ මනුස්සයගෙ දරුවන්ට වෙච්ච අසාදාරනේ – ඒවට කවුද ගෙවන්නෙ?

  7. උස නන් සිකුරිට්. says:

    මෙක දෙෂපාලන පලිගැනිමක් වගේ මට නන් පෙන්නේ 2015 බලයට ආව ගමන් දිලා ඌට ෂොට් එක.

    බහුතරයක් එවුන්ට කොලකැල්ල තිබ්බාට මොළේ නැ.

  8. Disce ammata discede says:

    ඉතාම සරල සාමාන්‍ය පිළිවෙතක් ලෙස පිළිපැදිය යුතු දෙයක් වත් තේරුම් ගන්න මේ ප්‍රොෆෙසර් ලාට තම උද්දච්ච කම නිසා බැරි උනා. උද්දච්ච පොතේ ගුරාලාට හොඳ පාඩමක්.

    2016 සිට 2021 දක්වා ඇදගෙන යන්න තරම් ලොකු තර්කයක්‌ නම් මේ නඩුවේ නෑ. මෙච්චර කල් ඇදන් ආවේ කොහොමද?