පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයසත් අවුරුදු 60 දක්වා ඉහලට..

June 26, 2017 at 8:02 am | lanka C news
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයසත් අවුරුදු 60 දක්වා ඉහලට..

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාවත් අවුරුදු 55 සිට 60 දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති කිහිපයක් රජයට යෝජනා කර ඇති බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.එම යෝජනාව ඉදිරියේ පැවැත්වෙන ජාතික කම්කරු උපදේශන සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඒ පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා පැවසීය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ වැවිලි ක්ෂේත්‍රයේ වැවිලි කරුවන් විසින් තමන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා වැඩි කරන ලෙස කරන ලද ඉල්ලීමක් සම්බන්ධව පැවති සාකච්ඡාවකදීය.වතු සමාගම් නියෝජනය කරමින් සේව්‍ය සම්මේලනයේ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.සාකච්ඡාව කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,”පෞද්ගලික අංශයේ සේවකයන් අවුරුදු 55න් විශ්‍රාම යා යුතුයි.නමුත් රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබෙනවා.එම නිසා වෘත්තීය සමිති විසින් මේ පවතින විශමතාවය වෙනස් කර දෙන්න කියලා අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කරනවා.පෞද්ගලික අංශයේ 55 න් විශ්‍රාම ගන්න බොහෝ දෙනෙක් එම සේවා ස්ථානයේ හෝ වෙනත් පෞද්ගලක අංශයේ සේවා ස්ථානයක නැවතත් සේවය කරනවා.බොහෝ ආයතන වල වසරින් වසර ලබා දෙන සේවා දිගු මත හෝ  සාමුහික ගිවිසුම් ක්‍රමවේදය මත එය සිදු වෙනවා. මේ ක්‍රියාවලියේදී සේවකයන්ට හිමි  වැටුප් සහ අනිකුත් වරප්‍රසාද අඩු වෙන බව තමයි සේවකයන් කියන්නේ.මොකද පාලන අධිකාරියට සේවකයන් සම්බන්ධව තීන්දු ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන නිසා.එම නිසා මේ සම්බන්ධව රාජ්‍ය,සේව්‍ය සහ සේවක යන තෛපාර්ශවය එකට එකතුවෙන ජාතික කම්කරු උපදේශන සභාවේදී පුළුල්ව සාකච්ඡා කිරීමට අපි තීරණය කර තිබෙනවා.ඉන්පසු මේ සම්බන්ධව වාර්තාවක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා ” අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡාවේදී  වැවිලි කරුවන් විසින් වැවිලි සමාගම්  විසින්  වතු  අංශයේ  රැකියා ක්ෂේත්‍ර ගණනාවක විශ්‍රාම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් වැවිලිකරුවන්ට එම අවස්ථාව අහිමි කර ඇති බවටත් චෝදනා කරන ලදී.එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සේව්‍ය සම්මේලනය මෙහිදී ප්‍රකාශ කර සිටි අතර කාර්යක්ෂමතාවය සහ වතු සමාගම්  විසින් ගණු ලබන තීන්දූන් මත බොහෝ දෙනෙකුට විශ්‍රාම වයසින් පසුවත් සේවය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ප්‍රකාශ කරන ලදී.

මෙම සාකච්ඡාව සදහා කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආර්.පී විමලසේන මහතා ඇතුළු අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු නිලදාරීන්, සේව්‍ය සම්මේලනයේ නියොජිතයන් සහ වැවිලි කරුවන්ගේ නියොජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

– ධම්මික තිලකරත්න

157 views
Main News