බස් ගාස්තු අඩුවෙනවා..- ප‍්‍රවාහන ඇමති

December 24, 2018 at 12:00 pm | lanka C news
බස් ගාස්තු අඩුවෙනවා..- ප‍්‍රවාහන ඇමති

ඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. දැනට ඉන්ධන මිලෙහි පහළ යාමට සාපේක්ෂව මෙම බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

“විශේෂයෙන් දැන් ඉන්ධන මිලත් අඩු වෙලා තියෙන හින්දා එන සතිය වෙනකොට අපි සාකච්ඡා කරලා බලනවා ගාස්තු අඩු කරගන්න පුළුවන්ද කියලා…. ”යි වැඩිදුරත් කියා සිටි අමාත්‍යවරයා ඒ පිළිබද සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දින කිහිපයේදී අදාල පාර්ශ්ව සමඟ සිදු කිරීමට නියමිත බවද අනාවරණය කළේය.

මෙම කරුණු කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා වැඩසහනකට එක් වෙමින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සූත්‍ර‍ය ක්‍රියාත්මක කිරීමේ වාසිය දැන් මහජනතාවට හිමි වෙමින් පවතින බවයි.

“ඇත්තටම මිල සුත්‍රය විදියට අඩුකළා නම් මහින්ද මහත්තයටත් පුළුවන්කම තිබුණා ඉන්ධන අඩුවටම දෙන්න. නමුත් එහෙම කරන්න නැතිව අවස්ථා කිහිපයකදී පොඩි ගණන්වලින් ඉන්ධන මිල අඩු කරලා මහජනතාව රැවැට්ටුවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. ලෝක වෙළද පොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය සම්පූර්ණයෙන්ම මහජනතාවට ලබා දෙනවා. ඒ නිසා තමයි පසුගිය දිනකත් ඉන්ධන මිල අඩු කිරීමට අගමැතිතුමයි මුදල් ඇමැතිතුමයි තීරණය කළේ…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍ර‍ශ්නවලට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍ර‍ – ජානාධිපතිතුමත් එක්ක ඉදිරි ගමන යන්න පුළුවන් කියලා හිතනවද..?

නෑ. අපි සාකච්ඡා කරගෙන යනවා .. අපිට යම් යම් ප්‍රශ්න ඇති වුණා. අපි හදන්නේ ප්‍රශ්න අඩුකරගෙන ප්‍රශ්න නැති කරගෙන රට ඉස්සරහට ගෙනියන්න. මං හිතන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විශාල වගකීමක් තියෙනවා. එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්නවලට වඩා රටේ අවශ්‍යතාවට වෙනුවෙන් ඒ දෙදෙනාත් අත්වැල් බැදගෙන ඉස්සරහට යන්න ඕන. ඒක තමයි මේ රටේ මහජනතාව බලාගෙන ඉන්නේ. ලක්ෂ 62 ඡන්දය දුන්න අය ඉන්නවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට. එතුමත් එක්ක යම් යම් අඩු පාඩු තිබුණත් එම අඩුපාඩු හදාගෙන ඉස්රහට යන්න තමයි අපේ බලාපොරොත්තුව.

ප්‍ර – ඇමති මණ්ඩලය දිවුරුම් දුන්න දවසසේ සමූහ ඡායා‍රූපයකට පෙනී සිටියේ නෑ නේද ?

ඡායාරූපයකටනම් හිටියේ නැ. අපිට ඡායාරූපනම් වැඩක් නෑ. අපි ඇවිල්ලා ඉන්නේ වැඩ කරන්න.

ප්‍ර – ජනාධිපතිතුමා කනස්සලෙන්ද ඉන්නේ ?

ඒක ඔබතුමා එයාලගෙන්ම අහන්න. මොකද අපි කනස්සල්ලෙන් නෙවෙයිනේ. අපි සන්තෝසෙන්.

ප්‍ර – ඇමතිතුමා, අගමැතිතුමා කළු මාධ්‍ය කියලා මොකක්ද පනතක් ගෙනවා කිව්වා ඒ මොකක්ද?

මාධ්‍ය වුණාම සාධාරණ වෙන්න ඕනනේ. අඩුම ගානේ 2015 ඒ මහ මැතිවරණයෙන් පස්සේ, ජනාධිපතිවරණයෙන් පස්සේ, මාධ්‍යයට ලැබුණු නිදහස අද වෙනකොට අපි අඩු කරලා නෑනේ. ඒ නිදහස වැඩිවීම හරහා සමහර මාධ්‍ය හැසිරිම ගැන යම් යම් ප්‍රශ්න තියෙන්න ඇති. මට ඒක අදාල දෙයක් නෙවෙයි. අපිට තියෙන්නේ වැඩ කරන්න. මාධ්‍ය දැන ගන්න ඕන හැමෝටම සාධාරණයක් කරන්න. මහජනතාවට සාධාරණය වෙන්න. මොකද, මාධ්‍ය අද ජීවත් වෙන්නේ මහජනතාව හින්දා. මම නම් මාධ්‍යයෙන් බලාපොරාත්තුවෙන්නේ රටේ ඇත්ත තත්ත්වය ගැන මහජනතාව දැනුවත් කිරිම. එහෙම නැතිව ඒක පාර්ශිකව අනවශ්‍ය දේවල් කරලා රට බෙදන එකටයි ජාතිවාදය අවුස්සන එකටයි මම නම් එකග වෙන්නේ නැහැ.

ප්‍ර – ඇමතිතුමා ඉදිරියේදි මැතිවරණයකට යයිද?

හරි වෙලාවට යයි.

ප්‍ර – ඇමතිතුමා මේ කෙටි කාලයෙදි පුළුවන්ද ජනතාවගේ හිත දිනාගන්න එ.ජා.ප. ආණ්ඩුව විදිහට වැඩ කරලා?

අපිට දීලා බලන්නකෝ…මාස 03ක් විතර යනකොට කොහොමද බලන්නකෝ.

ප්‍ර – දේශපාලන අර්බුදය දැන් අවසන්ද?

අපි දන්න විදිහට අවසන් වෙලා තියෙන්නේ. අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමාටත් විශාල වගකීමක් තියෙනවා ජනාධිපතිවරයා හැටියට. එ.ජා.ප. සහයෝගයෙන් තමයි අද එතුමා එතන ඉදගෙන ඉන්නේ. එතුමාටත් විශාල අභියෝගයක් තියෙනවා, වගකීමක් තියෙනවා රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

– තමීර මංජු,

77 views

One Comment to “බස් ගාස්තු අඩුවෙනවා..- ප‍්‍රවාහන ඇමති”

  1. Ksn says:

    Emathithumo mila suththare apata kiyanna berida apita gana hadala beluwa haki ethakota kawda boru kiyanne kiyala balanna puluwani

Main News