බස්, ත‍්‍රීවීල් පාරේ යන විදිහ වැරදියි.. දඩය 2500 කලේ ඒකයි.. ආණ්ඩුවට සල්ලි හොයන්න නොවෙයි..

November 16, 2016 at 4:40 pm | lanka C news
බස්, ත‍්‍රීවීල් පාරේ යන විදිහ වැරදියි.. දඩය 2500 කලේ ඒකයි.. ආණ්ඩුවට සල්ලි හොයන්න නොවෙයි..

‘අවම දඩය රුපියල් 2500 කලේ රජයට ආදායම් උපද්දවන්න නෙමෙයි.. විනය ගරුක සමාජයක් බවට පත් කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ රුපියල් ලක්ෂ 30 ක වියදමෙන් සංවර්ධනය කරන ලද මෙගොඩ කොළොන්නාව මාර්ග විවෘත කිරීමේ උත්සවයකදීය.

මේ ගෙවුන දවස් 400 ඇතුළත රටේ ආර්ථිකය සම්බන්ධව පුළුල් දැක්මක් සහිතව අපේ රජය දියත් කළා. පසුගිය කාලේ අගමැතිතුමා විදේශ රටවල් සමග පැවැත් වූ සබදතා වල ප්‍රතිලාභ මේ රටට එමින් පවතිනවා. එහි එක් පියවරක් වශයෙන් ලබන වසරේ ජනවාරි මාසේ 8 වෙනිදාට චීනය සමග ඩොලර් බිලියන 8 ක හම්බන්තොට ආර්ථික කලාපය ආරම්භ කරනවා. ඒ වගේම පොඩි මිනිහට සහන දෙන අයවැයක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඇති හැකි අයගෙන් අරගෙන නැතිබැරි අයට ලබා දෙන අයවැය වැඩපිළිවෙලක් දැකගන්න පුළුවන්. සෘජු විදේශ ආයෝජන ලංකාවට පැමිණෙන, අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩ නැගෙන, මේ රටේ ප්‍රවාහන පද්ධතිය, කෘෂීකර්මාන්තය,වැවිලි ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ධීවර කර්මාන්තය ආදී සෑම කේෂත්‍රයක් ගැනම හිතපු අයවැයක් තමයි. බඩු මිලෙනුත් ජනතාවට වීශාල වාසියක් වුනා ඒකාබද්ධ විපක්ෂයට දැනේනේ නැති වුනාට කිරිපිටි, සීනී, පරිප්පු, කඩල, හාල් මැස්සෝ, ගෑස් ආදි මිල අඩු කරපුවා පොඩි මිනිහට දැනෙනවා.

ඒ වගේම අවම දඩය රුපියල් 2500 කලේ රජයට ආදායම් උපද්දවන්න නෙමෙයි මේක විනය ගරුක සමාජයක් බවට පත් කරන්න. අපිට පේනවා පාරේ බස් යන්නේ කොහොමද, ත්‍රීවීල් යන්නේ කොහොමද සහ අනෙකුත් පුද්ගලික වාහන යන්නේ කොහොමද කියලා. රටක දියුණුව කියන්නේ ආර්ථික දියුණුව මෙන්ම , යටිතල පහසුකම් දියුණුව පමණක් නෙමෙයි මානුෂික දියුණුවත් විනයානුකූල දියුණුවත් ඇතිවෙන්න ඕනේ. මේක හරියට මීනීමරුවන්ට කියන්න පුළුවන් අපිට මරණ දඩුවම එපා අපිව අවුරුදු 5 කට හිරේ දාන්න කියනවා වගේ. කුඩු කාරයෝ කියන්න පුළුවන් අපිට ආදායමක් නෑ ඒ නිසා කුඩු තහනම් කරන්න එපා කියලා. එහෙම කියනවා වගේ තමයි මේ අවම දඩය එපා කියන්නේ. කවුද එපා කියන්නේ මාෆියා කාරයෝයි.මේ රට හදන්න වුවමනා නැති අයයි. රජයක් හැටියට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගත යුතුයි .සැලසුම් සහගත විදිහට රට ඉදිරියට යා යුතුයි.

– මිනුර රෂාන්ත

54 views
Main News