බාල පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි..

February 3, 2017 at 12:40 pm | lanka C news
බාල පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි..

Nimotuzumab Injection 50mg නැමැති පිළිකා ඖෂධය ආනයනය කිරිම සදහා ලබා දී තිබූ ටෙන්ඩරයක් තමන් විසින් අවලංගු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම ඖෂධය ආනයනය කිරීමට නියමිතව තිබූ සමාගම පිළිබද පැමිණිලි රැසක් ලැබීම හා පොලිස් පරීක්ෂණයක් ක්‍රීයාත්මක වීම ඊට හේතුව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙම සමාගම මීට ප්‍රථම වෙනත් සමාගමක නාමයෙන් පිළිකා ඖෂධ ආනයනය කර විවිධ විෂමාචාරයන් සිදු කර ඇති බවට ලැබී ඇති පැමිණිලිවල සදහන් වෙයි. එම විෂමාචාර සිදුවීම් සිදුකර ඇතැයි පැවසෙන සමාගම ලිපිනය වෙනස් කරමින් නව සමාගම ජනවාරි මාසයේ දී ලියාපදිංචි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. එම නිසා පොලිස් පරීක්ෂණ සහ ලැබී ඇති අනෙකුත් පැමිණිලිවල විමර්ශණ අවසන් වන තුරු එම ටෙන්ඩරය අවලංගු කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පිළිකා රෝගීන් සදහා ලබාදෙන Nimotuzumab Injection 50mg නැමැති මෙම ඖෂධය ඉන්දියාවෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කර තිබුනි. එම ඖෂධ 600 ක් මෙලෙස ආනයනය කිරිමට නියමිතව තිබූ අතර, එහි එක් ඖෂධයක වටිනාකම රුපියල් 51,500 ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කරයි. එම ටෙන්ඩරය අවලංගු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාටයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

9 views
Main News