බැදුම්කර කෝප් වාර්තාව ගැන කතානායකගේ නිවේදනයක්…
January 25, 2017 at 5:30 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව ගැන කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කලේය.
මේ එම විශේෂ ප්‍රකාශයයි.
ගරු මන්ත්‍රීවරුනී, ඊයේ දිනයේ විවාදයට භාජනය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් මාගෙන් විමසීමක් කර තිබෙන බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
මාගේ අදහස අනුව මේ පිළිබඳව තීරණය ගත යුත්තේ මෙම ගරු සභාව විසින්ම බව ගරු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම දන්වා සිටින අතර ඔබතුමන්ලා සියලු දෙනාගේ එකඟත්වය තිබේ නම් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
මීට ඉහතදී, මෙම සභා ගර්භයේදී විවාද කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට කලින් කල ඉදිරිපත් කරන ලද වාර්තා ඉදිරි පියවර සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ අවස්ථා දැනගැනීමට නොමැති නමුත් එලෙස කිරීම යහපත් පූර්වාදර්ශයක් වනු නොඅනුමානයි.
ඉදිරියේදී ද පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා විසින් කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන එවැනි වාර්තා වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීම ඉතාමත් යහපත් මෙන්ම කාලෝචිත ක්‍රියාමාර්ගයක් වන බව මාගේ හැඟීමයි.
– චමින්ද ගමගේ