බැදුම්කර මහ හොරු රටින් පැන ගිහින්.. තොරතුරු කිසිවක් නෑ..

May 13, 2018 at 5:30 pm | lanka C news
බැදුම්කර මහ හොරු රටින් පැන ගිහින්.. තොරතුරු කිසිවක් නෑ..

වර්තමාන යහපාලන ආණ්ඩුව රටේ ජනතාව හතර වටින් වටකර පහර දෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ  තරුණ සංවිධානයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී චරිත ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ එම පක්ෂයේ තරුණ සංවිධානය පිහිටුවීමේ  සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමාන යහපාලන ආණ්ඩුව ගෙන ඒම සදහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාව ඉතා විශාල කැප කිරීමක් කරා. ඒ වගේම අපි තරුණයෝ විදියට වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් කරන්න ජනවාරි 08 වෙනස වෙනුවෙන් විශාල කැප කිරීමක් කරා. නමුත් අද වෙනකොට ඒ කැපවීම් සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් වෙලා. යහපාලනය වෙනුවට මේ ආණ්ඩුව අද වෙනකොට රටේ ජනතාවට වදදෙන යමපාලනයක් බවට පත්වෙලා යනුවෙන් ඔහු සදහන් කලේය.

තව දුරටත් අදහස් දැක්වු චරිත ගුණරත්න මහතා මෙසේද කියා සිටියේය.

පසුගිය දවසේ ආණ්ඩුව අසාමාන්‍ය විදියට ඛණිජතෙල් මිල ඉහළ දැම්මා. සාමාන්‍ය ග්‍රාමීය ජනයා පාවිච්චි කරන භූමිතෙල් මිල පවා ඉහල දමන්න මේ ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේම මේ ආණ්ඩුවේ වැරදි සහගත මූල්‍ය කළමනාකරණය නිසා අද රටේ උද්ධමනය වැඩිවෙලා ඩොලර් එක 159/160 යි, පොල් ගෙඩිය රු: 100 යි. මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා ආණ්ඩුවට කිසිම ගානක් නැහැ. යහපාලන ආණ්ඩුව ඇවිත් මාස ගානකින් රටේ විශාලම මංකොල්ලය වුණු මහ බැංකු මංකොල්ලය සිද්ධ කරා. මේ හේතුවෙන් රටේ ආර්ථිකය කඩාගෙන වැටුනා. ඒකට කොමිෂන් එකක් පත් කලා, මහ හොරු රටින් පැනලා ගියා. අදටත් ඒ අය ගැන තොරතුරක් නැහැ. ආණ්ඩුවේ මැති ඇමතිවරු දවසින් දවස පැටව් ගහනවා. විද්‍යාත්මකයි කියල එයාගෙ ඇමතිකම මෙයාට දෙනවා මෙයාගේ ඇමතිකම එයාට දෙනවා. එකම ඔළු එහාට මෙහාට කරල කියනවා මේක විද්‍යාත්මකයි කියලා. මෙහෙම ආණ්ඩුවකට රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා…

අද බලන්න මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු තුන හමාරක් කාටද හරියට රස්සාවක් දුන්නේ. රටේ මොන ප්‍රශ්නයද විසදුවේ. අද තරුණ තරුණියන් රස්සා නැතුව මහ පාරේ කෝ දෙනවා කියපු රැකියා දස ලක්ෂය කෝ අගමැතිවරයා පටන් ගන්නවා කියපු කර්මාන්තපුර අද ඒ මොකුත් නැහැ. අද වෙනකොට උපාධිධාරීන් 40000 කට වඩා රැකියා පෝලිම් වල ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ පාස් වෙච්ච තරුණ තරුණියන් ලක්ෂ ගානක් රැකියාවක් නැතුව ගෙවල් වල ඉන්නවා. පුද්ගලික අංශයේවත් ඔවුන්ට දෙන්න රැකියා නැහැ. රටේ ආර්ථිකය කඩාවැටීම නිසා පුද්ගලික අංශයත් දුවන්නේ අවධානම් තියාගෙන. ඒ නිසා ඔවුන් අළුත් ව්‍යාපෘති පටන් ගන්න බයයි. රැකියා වෙළදපොල කඩා වැටිලා මේ ආණ්ඩුවට කිසිම ඉදිරි දැක්මක් නැතුව ඔහේ යනවා. ආණ්ඩුව එදිනෙදා අටුව කඩලා පුටුව හදන තත්වයකට පත්වෙලා. ඇමතිවරු තම තමන්ගේ වරප්‍රසාද වැඩිකර ගන්නවා. අද වෙනකොට මේ ආණ්ඩුව රටේ පුරවැසියන්ට ඔළුව උස්සන්න බැරි වෙන්න හතර වටින් පහර දෙන තත්වයකට පත්වෙලා. ජනතාව ගැන වගේ වගක් නැහැ. මෙහෙම ගියොත් තව ටික දවසකින් මිනිස්සු පාරට බහීවි මේ ආණ්ඩුවට විරුද්ධව. යනුවෙන්ද ඔහු සදහන් කළේය.

මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

27 views
Main News