බැසිල්ගේ ගණිතයෙන් හොරු කවුදැයි හෙලිවේ.. එදා බැදුම්කර පොලිය 7%යි.. අද 11%යි.. එදා භාන්ඩාගාර බිල්පත් පොලිය 6%යි.. අද 10.24%යි..

November 5, 2016 at 9:20 am | lanka C news
බැසිල්ගේ ගණිතයෙන් හොරු කවුදැයි හෙලිවේ.. එදා බැදුම්කර පොලිය 7%යි.. අද 11%යි.. එදා භාන්ඩාගාර බිල්පත් පොලිය 6%යි.. අද 10.24%යි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කර තිබූ විද්වත් හමුවක් අමතමින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයදි වසර 30 ක් තිස්සේ තිබු ලෝකයේ දරුණුම යුද්ධය අපි ඉවරකලා. රට හැම පැත්තකින්ම සංවර්‍ධනය කලා, දිනපතා විදුලිය කපමින් ජනතාව අදුරේ තබා තිබු යුගය අවසන් කලා පමණක් නොව රටේ ජනතාවගෙන් 90% දක්වා විදුලිය දීමට අවශ්‍ය කටයුතු කලා. රාජ්‍ය සේවය කප්පාදු කොට ලක්ෂ හය දක්වා අඩු කිරීමට තිබූ සැලැස්ම වෙනස් කොට රාජ්‍ය සේවාව ලක්ෂ 15 දක්වා වැඩි කරමින් සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රක්ෂා ලබා දුන්නා, ග්‍රාමීය සංවර්ධනයට මුල් තැන දෙමින් ගම නැගුම පුර නැගුම හරහා අහිංසක ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කලා, ගමේ නගරයේ කාපට් පාරවල් පමණක් නෙවී අපේ රටේ මුල් වරට අඩිවේගි මාර්ග පද්ධතියක් ඉදිකලා.

ජනතාවට දෙන්න පුලුවන් හැම සහනාධාරයක්ම දුන්නා පොහොර මිටිය රුපියල් තුන්සිය පනහට දෙමින් “අපි වවමු රට නගමු” වැඩසටහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එවකට සිටි කෘෂිකර්ම ඇමති අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුනා, අලුතින් විශ්ව විද්‍යාල බිහිකොට උපාධිධාරීන් බිහිකිරිම දෙගුණයකින් වැඩි කිරීමට අපිට හැකි වුනා, මහින්ද ජනාධිපතිතුමා රට භාරගද්දි තිබු උද්දමනය 15% යි අපි ආණ්ඩුව මේ උදවියට බාරදෙනකොට උද්දමනය 0 යි.

එහෙම දියුණු කරපු රට ජනතාවට නොයෙකුත් බොරු මවා පෙන්නා අපි ඇතුළු හුඟාක් මහන්සියෙන් වැඩකරපු රාජ්‍ය සේවකයෝ හොරු ලෙස හංවඩු ගසමින් ආණ්ඩුව ගත්තත්, අද වන විට රට අගාධයට දමමින් පාලකයින් ජනතාව පිට වරද පටවමින් සිටී, මොහුන් විසින් ඉතා දරුණු ලෙස හා බරපතළ ලෙස සමස්ථ ආර්ථිකයට කරන හානිය අද මා සමඟ මේ සාකච්ඡාට සහභාගි වන සියලු දෙනාගේ දැනගැනීමට සැලස්වීම මගේ යුතුකමක්’ යයි පවසමින් තමා අතේ තිබු ටැබ් එක ක්‍රියාත්මක කොට මහා බැංකුවේ වෙබ් අඩවියට පිවිසෙමින් පෙන්නා දෙන ලද්දේ මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබු පුවත් පත් නිවේදන කිහිපයකී.

ඒ අනුව එදා භාන්ඩාගාර බැදුම්කර පොලිය 7. 05 % තිබු බව මහින්ද රාජපක්ෂ රජයේ අවසාන බැදුම්කරය නිකුත්වූ 2014 දෙසැම්බර් 30 දින නිවේදන පෙන්නු අතර මේ රජයේ අවසන් වරට එනම් 2016 සැප්තැම්බර් 29 දින පැවති වෙන්දේසි අලෙවි කල පොලිය 10.96 දක්වා වැඩි වී ඇති බැව් පෙන්වමින් මේ සල්ලී කාගේ සාක්කුවට දැයි යන්නේ කියා පැමිණි සිටි අය විමතියට පත් කරමින් විමසීය.

අවසාන වශයෙන් ඔහු සඳහන් කලේ රටක දූෂණය නැත්නම් විනිවිඳභාවය අනුව කටයුතු කරනවා නම් රටේ සමස්ථ ආර්ථිකය පිබිදීමකට ලක්වී ඇත්නම් එදාට වඩා අද භාන්ඩාගාර බැදුම්කර සහ භාන්ඩාගාර බිල්පත් පොලිය අඩුවිය යුතු වුවත් අද වනවිට යහපාලනය ක්‍රියාත්මක වෙනවා නම් පොලිය එදාට වඩා වැඩි මිලකට වර්තමාන මහබැංකුවේ නිලධාරින් අලෙවි කරන්නේ මොන පදනමින්ද කියා මෙහි සිටින විද්වත්හු සොයා බලන ලෙසයි. එමෙන්ම සත්‍ය වශයෙන්ම යහපාලනය සහ විනිවිඳභාවයකින් යුක්තව රට සහ ජනතාව වෙනුවෙන් ඉහළම සේවයක් මහින්ද ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙන්ම රජයේ සියළු නිලධාරින් එම කාලයතුල වැඩ කර ඇති බවට මෙය ඉතා වටිනා සාක්ෂියක් බව හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

59 views
Main News