බිබිල වතුයායේ ඉදිකළ නිවාස ජනතා අයිතියට…

April 17, 2019 at 2:01 am | lanka C news
බිබිල වතුයායේ ඉදිකළ නිවාස ජනතා අයිතියට…

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි මොණරාගල බිබිල වතුයායේ ඉදිකරන ලද නිවාස 13 ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.

නිවාස සඳහා ජලය, විදුලිය සහ අභ්‍යන්තර මාර්ග ඇතුලත් අතර මේ සඳහා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි පනස් පන් ලක්ෂයකි.

මෙම අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් අරුණ රත්නායක මහතා, බිබිල ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා විජේසිංහ මහත්මිය, වතු අධිකාරි හරේන්ද්‍ර මැදිවක මහතා, බිබිල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනිල් බණ්ඩාර මහතා, බිබිල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ වැවිලි ප්‍රජාවට මෙවැනි මනරම් නිවසක් හිමිවීම සම්බන්ධයෙන් ගරු පලනි තිගාම්බරම් අමාත්‍යතුමාට තමන් ස්තූතිය පුදකරන බවයි

වැවැලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සඳහා පලනි තිගාම්බරම් අමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේද ඇගයීමකට ලක්ව ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මෙහිදී කියා සිටියේය.

තම ඉල්ලීම පරිදි මොණරාගල කුමාරවත්ත වතුයායේද නිවාස 150 ක් ඉදිවෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගත් තැබෙන බවයි.

– අරුණ රත්නායක

2,654 Viewers
Main News