බුකිකාරයන්ගේ පත්තරෙන් ජනපතිට අපහාස කරලා.. පස්ස දොරෙන් තනතුරුවලට එන්න උත්සාහයක්..

July 27, 2018 at 3:50 pm | lanka C news
බුකිකාරයන්ගේ පත්තරෙන් ජනපතිට අපහාස කරලා.. පස්ස දොරෙන් තනතුරුවලට එන්න උත්සාහයක්..

ඇමති අර්ජුන රණතුංගගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

ජනපති එහෙම දෙයක් කැබිනට්ටුවේදී කිව්වේ නැහැ…. ක්‍රීඩා නීතියේ 44වැනි වගන්තිය ක්‍රීඩා ඇමැති ගෙනාවේ ලාච්චුවකින්ද ?
– ඇමැති අර්ජුන කියයි….

එක්තරා ජාතික පුවත්පතක් වාර්තා කළ පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු‍ නොසොයන්නැයි පසුගිය කැබිනට් මණ්ඩලයේදී කිසිම විටක ජනාධිපතිතුමා තමාට නොපැවසූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (27) පැවසීය.

අවධාරණය කරන්නේ එවැනි අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීමම ජනාධිපතිතුමාට කළ අපහාසයක් වන බවයි.

“මම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ දේවල් එළියේ කථා කරන්නේ නැහැ. නමුත් මෙතැනදී මම උත්තරයක් දිය යුතු වනවා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් මට නොකළ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශයක රාජිත සේනාරත්න මැතිතුමා පැවසුවා. මට කියන්න තියෙන්නේත් එවැනි ප්‍රකාශයක් ජනාධිපතිතුමා කළේ නැහැ. මේ අසත්‍ය පුවත වාර්තා කර තිබුණේ බුකිකාරයින්ට සම්බන්ධ පුවත්පතකින්. එය පළ කිරීමෙන් අපහාසයක් වුණේ මට නෙමෙයි. ජනාධිපතිතුමාට. ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක් කරයිද ? ක්‍රීඩාව ගැන සංවේදී දැනුමක් තියෙන එතුමා කියනවද ක්‍රීඩාව ගැන කථා කරන්න එපා කියලා. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක්. මෙවැනි අසත්‍ය පුවත් ඇත්තටම මවන්නේ ඡන්ද පදනමක් නැති අනාථ වෙච්ච දේශපාලනඥයෝ. ඔවුන් පස්ස‍ දොරෙන් තානාන්තරවලට එන්න උත්සාහ කරනවා. ඔවුන්ට සල්ලිවල ප්‍රශ්නයක් නැහැ. සූදු ව්‍යාපාරවලින් උපයන කලු සල්ලි ඕනතරම් ඔවුනට තියෙනවා. ඒගැන මහජනතාවත් දන්නවා. ඒකනේ පසුගිය මහ මැතිවරණයේදී මේ අනාථ දේශපාලනඥයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කළේ….”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක්වෙමිනි. එම වැඩසටහන පැවැත්වුණේ වැලිවේරිය කිරිකිත්ත ශ්‍රී පහමුණ බෞද්ධ මධ්‍යස්ථානයේදීය. එම වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයාගෙන් එක් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේ පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ බහින්බස්වීමක් සිදුවීද යන්නයි. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ,

“නෑ, ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක සමස්ත කැබිනට් මණ්ඩලයම නොමඟ යවන ඡේද කිහිපයක් මම දැක්කා. මම ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා තරම් නීතිය ඉගෙන නැහැ. නමුත් ක්‍රීඩා නීතිය තරමක් දන්නවා. ඒ දන්නා දැනුමෙන් වැරැද්ද පෙන්වා දීමට උත්සාහ කළා. එපමණයි සිදු වුණේ. නමුත් බුකිකාරයින්ගෙන් යැපෙන ඇතැම් ඇමැතිවරු නැති දෙයක් මවා පා වැඩි ප්‍රචාරයක් ලබා දෙන්න උත්සාහ කර තිබුණා….” යනුවෙනි. මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කළ විමසීම් සහ ඊට දුන් පිළිතුරු පහත දැක්වේ.

දැන් ඇමතිතුමා මාධ්‍ය වාර්තා කරනවා, ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීයා පත් කරලා තියෙන්නේ 44වැනි වගන්තිය යටතේ කියලා. නමුත් ඇමතිතුමා අපි දකින්නේ නැහැ ක්‍රීඩා පණතේ 44වැනි වගන්තියක්. 43න් ඉවරයි ?

ඕක තමයි මම කැබිනට් එකේදී පෙන්වල දෙන්න හැදුවේ. නමුත් මට ජනාධිපති නිතීඥතුමෙක්ට නීතිය උගන්වන්න බැහැනේ. එතුමා ජනාධිපති නීතිඥයෙක්. එතුමාගේ ක්‍රීඩා නීතියේ 44වැනි වගන්තියක් තියෙනවා. නමුත් ක්‍රීඩා නීතිය පොඩ්ඩක් දන්න මම දන්නවා 44වැනි වගන්තියක් නැහැ කියලා. ඉතිං අපිත් හොයා ගන්න ඕන මෙන්න මේ 44වැනි වගන්තිය තියෙන්නේ කොහෙද කියලා.

ඒ කියන්නේ නීතිය දන්න ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාටත් වැරදිලාද ? නැතිනම් නීතිය දන්නේ නැතිවද ?

නෑ. එතුමා සමහර විට බුකිකාරයින්ගේ ලාච්චුවක කොහේ හරි තිබිලා පණතක් ගෙනෙල්ලද දන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඒක හොයා ගන්න ඕන. ඒ ගැන නෙමෙයි අපි ඇත්ත කථා කරමු. මොනදේ තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ හිටිය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා නීතියට අනුව සූදුකාරයින්ට ක්‍රිකට් පරිපාලනයට එන්න දුන්නේ නැහැ. අපි අතරේ දේශපාලන මතිමතාන්තර වෙනස් වුණත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ එම ක්‍රියාව මම අගයනවා. නමුත් අද මොකද්ද වෙන්නේ. පස්සේ දොරෙන් හොරෙන් ආපු මිනිස්සු නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් තියෙනවා.

ඒ කියන්නේ කිසියම් කෙනෙකුගේ උවමනාවක් වෙනුවෙන් හැමෝම ක්‍රීඩා නීතිය නමනවද ?

ඔව්, මමත් ඒ ගැන දකිනවා. උදාහරණයකට මේ 44වැනි වගන්තිය. මමත් තාම හොයනවා මේ 44වැනි වගන්තිය‍ කොහේ හරි හංගපු වන්තියක්ද කියලා. ඉතිං මමත් ෆයිසර් මුස්තාෆා ජනාධිපති නීතිඥතුමාගෙන් ඇහුවේ මේ 44වැනි වගන්තිය මටත් හොයලා දෙන්න පුළුවන්ද කියලා. නමුත් තාම ඒක හොයලා දෙන්න බැරිවෙලා තියෙනවා.

දැන් ඇමැතිතුමා නීති හදන්න ගිහිල්ලා පළාත් පාලන මැතිවරණයත් අනාගත්තා. දැන් ඇමැතිතුමා ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවත් අනනවද ?

අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ හැරෙන්නට මට මොකුත් කරන්නේ බැහැනේ. තමුන්නාන්සේලාත් ගිහිල්ලා ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාගෙන් අර කැබිනට් මණ්ඩලයට පෙන්නපු 44වැනි වගන්තිය කොහේද තියෙන්නේ කියලා. ඒ වගන්තිය මටත් දෙන්න කියලා මමත් ෆයිසර් මුස්තාෆා ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මමත් ඒ වගන්තිය තාම දැකලා නැහැ.

– තමීර මංජු

70 views

2 Comments to “බුකිකාරයන්ගේ පත්තරෙන් ජනපතිට අපහාස කරලා.. පස්ස දොරෙන් තනතුරුවලට එන්න උත්සාහයක්..”

  1. Gamini says:

    ජාතික ලැයිස්තුවට නීති ගේමක් ගසා පරාජිතයන් පත්කළ ෆයිසර්ට මොන්වද බැරි…44 වෙනුවට 64ක් පෙන්වයි…

  2. Sunil says:

    Arjuna, you do not want SL team to win when they win you are silient but if they loose you ridicule them

Main News