බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි..

May 27, 2018 at 4:40 pm | lanka C news
බුද්ධාගම සිංහල බෞද්ධයන්ගේ පමණක් නොවෙයි..

සිංහල අපේ තමයි බුද්ධාගම කියල සිංහල බෞද්ධයන් හිතුවද බුදු දහම කාටවත් අයිතිකර ගන්න නොහැකි බව අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරිල මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවසූවේ බළපිටිය වැලිතර ශ්‍රී සුගතසාසනෝදය මහා පරිවේණාධිපති, ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අහුන්ගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් වෙත සිරි විමලනන්දි වංසාවතංස යන ගෞරව නාමය සහිතව අමරපුර මූල වංශික මහා නිකායේ අනුනායක ධූරය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.

උන් වහන්සේ එහිදී මෙසේද කීහ.

ඉන්දියාවේ නොයෙකුත් කුල, ගෝත්‍ර ලෙස වෙන්ව සිටි ජනතාව එයින් මුදා ගත්තේ බුදුන් වහන්සේයි. ඒ සදහා සිදුහත් කුමාරයා රජ ගෙදරින් නික්ම ගියා. කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාක්මණයෙක් වෙන්නේ උපතින් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අමරපුර නිකාය බිහිවන්නේත් එවන් තත්ත්වයක් තුලයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයේ විශාල පිරිසක් මහණ උපසම්පදාව ලබා ගත්තා. උඩරට යම් යම් භේද නිසා මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් විවෘතව තිබූ මහණ, උපසම්පදාව විශාල පිරිසකට අහිමි වුණා. මටයි අයිති යන සංකල්පය මත ක්‍රියා කිරීම නිසයි, මේ තත්ත්වය උදා වුණේ.

සිංහල අපේ තමයි, බුද්ධාගම කියල සිංහල බෞද්ධයන් හිතනවා. එවිට දෙමළ බෞද්ධයන්, වෙනත් රටවල බෞද්ධයන් කියන්නේ මොනවාද. බුදු දහම කාටවත් අයිතිකර ගන්න බැහැ. බුදු දහම අපිට පමණයි, අයිති කියල සින්නක්කර අයිතියක් ගොඩනගා ගැනීම ශාසනයේ පරිහාණියට හේතු වෙනවා. ඥාණවිමල මහා නාහිමියන් බුරුමයට ගොස් බුදු දහම ගෙනාවම එවකට රටේ ලන්දේසි පාලකයින් එය පිළිගත්තේ නැහැ. එවිට බළපිටියේ මහ බද්දේ මුදලිවරු කුරුදු තලන්නේ නැහැ කියල මහා වැඩ වර්ජනයක් කරල මහණ උපසම්පදාවේ අයිතිය දිනා ගත්තා. එසේ නොවුණා නම් මේ ප්‍රදේශවල විශාල පිරිසක් මුස්ලිම් කරණය හෝ ක්‍රිස්තියානි කරණය වෙන්න ඉඩ තිබුණා. රට එයින් මුදා ගත්තේ අමරපුර නිකාය නිර්මාණය වීම නිසයි.

– ජයකාන්ත ලියනගේ

449 views
Main News